ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමනි…

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමනි…

චතුරි වික්‍රමාරච්චි - වොෂින්ටන්
2021-March

නරේන්ද්‍රසිහ රජ නාමය නිමා විය
නුඹට පිදූ ප්‍රේමය නීරසම විය
මා රන්දෝලි මුත් පෙම අන්සතුම විය
දස්කොන් මගේ හද පතුළෙම නතර විය

ආලය කියන්නේ පිවිතුරු හැඟීමකී
ප්‍රේමය කියන්නේ හද කිති කැවීමකී
හිමි සඳ නුඹේ හද පතුලේ වෙන කෙනෙකී
දස්කොන් මගේ රස දන්නා මීවිතකී

සක්මන් මළුවෙ උන්නා දොඩමළු ම වෙලා
ගැයුවා ලියූ කවි පද පෙම මෝදු වෙලා
ළඳකගෙ හිතේ ඇති හැඟුමන් කවිත් වෙලා
දස්කොන් ගයන විට කවිමල් මගේ වෙලා

මා හැරදමා සෙංකඩගල ගිය රෑක
සෙල්ලම් නිරිඳු සිරියහනේ උනුහුමක
හඟුරන්කෙතේ නොනිදන මා සුසුමයෙක
ප්‍රේමය ළය පලා පරවී ගිය සේක…

සකල සිරිලකට මහ රජු ඔබ වේ නම්
දෙනෙතට එබී නොබියව මම දිවුරන්නම්
ප්‍රමිලා නමට කවියෙක් මියැදෙන්නේ නම්
ඒ කිවි නමට මියැදෙන පෙම්වතියයි මම්

– ප්‍රමිලා