ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනියත බව….

අනියත බව….

වෛද්‍ය පද්මලාල් පතිරගේ - ඇතුල් කෝට්ටෙ
2021-November

නිල් අහසේ දුහුල් වළා
එකිනෙක පැටලී සෑදුන
අනේකවන් වළා වැනිය
ඔබෙත් මගෙත් මනු ජීවිත.

කලක් එකතු වී සිට යළි
විසිරී ගොස් අනන්තයට
නොපෙනී යළි කිසිම දිනක
පාවී යන වළා වැනිය
ඔබෙත් මගෙත් මනු ජීවිත.

පේුමයෙ මල් විකසිතවී
ස්නේහයෙ හද සුවපත් වී
සැනින් නිවෙන පහනක් වී
විරහව කඳුලැළ් අතරේ
මිලිනව යයි මනු ජීවිත.

තරු නෙත් පිබිදී දැල්වී
හදමල් කැකුළුද සුපිපී
පිණි කඳුලක නෙතු බොඳවී
ආදරයද සිහිනය වී
මතකේ යයි මනු ජීවිත.

හසරැළි මැද කඳුලැළි මැද
පැසසුම් හා ගැරහුම් මැද
රුදුරු චණ්ඩ මාරුතයේ
අතරමං වු වළා ලෙසින්
සැඟවී යයි මනු ජීවිත.