ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බාල පුතා

බාල පුතා

හේමා ඩෙප් - ලන්ඩනය
2024-June

මගෙ වත්තේ බංකුව උඩ
වාඩිවෙලා හිටියා නුඹ
දැක්කම ලස්සන හින්දා
යාළු වෙන්න හිතුනා මට

කාගෙ කවුද නොදැන නමුත්
ලඟට ගිහින් කිට්ටු වෙලා
අතගෑවා හරිම බයෙන්
නුඹත් ටිකක් බයෙන් වගේ
ඤාවු කියල කථා කලා

එදා පටන් මා දැක්කම
දුවල ඇවිත් දැවටි දැවටි
ඤාවු ගගා ආදරයෙන්
පෙරලි පෙරලි පිනුම් ගහන
නුඹයි මගේ හුරතලයා

පොකුණෙ ඉන්න මාලු ටිකට
කුරුමානම් අල්ලන හැටි
නැට්‍ට වනා කරනා රඟ
බලන් ඉන්න ආසයි මට

දවසක් දා දොරට ගහන
සද්දෙ ඇහිල ඇරියේ දොර
හිතුවේ නැහැ නුඹයි කියල
එක පාරට ගෙට රිංගල
පඩිපෙළ නැග උඩට ගිහින්
වාඩි වුනේ ඤාවු කියල

අඬ ගහන්නෙ මට ඵන්නට
නුඹත් ඵක්ක සෙල්ලමකට
අනේ පැටියො නුඹෙ අම්මා
මං වගේම ආදරෙ ඇති
තියා ගන්න විදියක් නෑ
දුකක් දෙන්න ලෝබයි මට

හුරතලේට ඇවිත් ලඟට
පේන්න වැට උඩට පැනල
වාඩිවෙලා උඩින් ඉදන්
හොරෙන් බලන චන්ඩි පුතා

උදේට නුඹ පොලිෂ් කරල
වගේ ලස්සනයි පැටියෝ
වැටවල් අස්සෙන් රිංගල
මකුළුදැලුයි රොඩු ගොඩවල්
පුරවා ගෙන හවසට එන
නුඹ දැක්කම හිනත් යනව

උදේ හවස අපි දෙන්නා
ජනේලයෙන් බලන් ඉදන්
හොරෙන් වගේ මුනගැහිලා
බෙදා ගනිමු අපෙ සෙනෙහස

පෙර භවයක කවුරු වුනත්
නොදැක ඉන්න බැරි තරමට
නුඹයි මමයි දැන් හිතවත්
කවදා හරි නුඹ දවසක
වෙයන් මගේ බාල පුතා !