ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපි ඉතිං දැන් වහිමුද?

අපි ඉතිං දැන් වහිමුද?

විකුම් ජිතේන්ද්‍ර
2021-December

නුඹ
මුවදෙනක මෙනි
නිකට
හිමි උර මත ය

කෝල ය
මදහස
අවසරැ‘ති
මද පමණට මෙනි

අතැඟිලි වෙලා
උහු අත,
කොඳුරයි
“ම්… ම්…”‍ නො ඉක්මයි

කාලෙකින් දුටු
නුඹ හිමි – මා මිතු
සල්ලාපය අතර
සුසංවර ලීලයෙනි

අවුළුපත් ගෙනවිත් තබා
විටින් විට,
යළි යළිත් ඒ උරම
වත හොවා
කිසිවක් නොදැන මෙන්
පා මහපටැඟිල්ලෙන්
ගෙබිම මත කුඩා කවයක් අඳියි

අරමුණකින් තොරව
මදකට
අලු‍ත් අත්බණු තිරෙහි ඇස ගා
පසෙකින් තබමි

ඒ කෙටි පණිවිඩය
පැරැණි දුරකථන තිරයෙන්
මකා දැමුවා මතක ය
”‍අපි ඉතිං දැන් වහිමුද?”‍