ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රැයේ කඩුපුල් වෙලා සුවද දී පිපෙන්න

රැයේ කඩුපුල් වෙලා සුවද දී පිපෙන්න

නදී විතානාච්චි
2024-January

ඇසින් නො⁣ව හදවතින් ලෝකයම දකින්න
සිනාවෙන ඇස්වලින් ලොවට අඩගසන්න
හඩන සිත් සනසලා ආදරය බෙදන්න
හැකි වේවි නුඹ හටත් ජීවිතය විදින්න

මගේ මට නොවෙයි අපි අපේ ගැන සිතන්න
රිදුම් දෙන හදවතක් සෙමින් පිරිමදින්න
ගිනි ගත්ත හිසක් මත හාදුවක් තබන්න
භාවනාවක් වේවි ජීවිතය නිවෙන්න

රැයේ කඩුපුල් වෙලා සුවද දී පිපෙන්න
මේ මහා පොලොව සේ දරාගෙන සිටින්න
ගලා යන ගග වගේ සා පවස නිවන්න
තනිව නොව ජීවිතය එකතු වී දිනන්න…

– ලන්ඩන් නුවර සිට.

Photo by ; José Ignacio González Pansiera