තාත්තෙක් හැමදාම අසරණයි..

සෞම්‍ය ලලිත් කලුබෝවිල - අනුරාධපුර
සෞම්‍ය ලලිත් කලුබෝවිල - අනුරාධපුර
2021-September

කෑගසන පොර බඳින හිනාවෙන යළි හඬන නුඹලා..
පා දොවන, වැලි දමන,පෙණ නගන, හඬ නගන
සාගරේ රැලි සරැලි වගේමයි…

අතු පතර කහ ගැහුණු පණ ගසන පතකටත්
සිසිල් සුළඟේ සුවත් බියකරුයි..
බෝ රෝග උසුලනා සිත කයින්
මට රිදුම් බොහොමයි..
සිනා පිරිමැදුම් මොහොතක සුවයි

ඔය හැඬුම්.. හිත රිදෙයි පාරවයි..
අතක් එසවුනේ හිතක් නැතිවමයි.
හිතත් මරණාසන්න වී දැවෙයි
තතක් බිඳි වීණාවෙ හඬ ඇසෙයි

තාත්තෙක් සැරවෙන්න ඕනෙමද?
කරුණාව අම්මාගෙ උරුමයද?
අම්මාගෙ දැවටෙනා දියණියේ පුතණුවේ
ඒ සෙනෙහෙ මට දෙන්නෙ කවදාද?

දාරක ආදරේ හද පැස හොවා යහමට
සාටක පොරවාන පියෙකුගෙ හැංගිලා උන්නාම…
ජාත⁣කය වෙසතුරු වුනත් හිතේ කහටක් නැද්ද ..,
සෙනේහය කැඩුවාම දරුවන්ට..?
පෝරකය ලඟ සුවයි උන් සෙනෙහෙ නැතුවාම,
හිතෙන්නේ මට විතරමද පියෙකුට..

මේ පපුව නුඹලා⁣ගෙ සයනයයි……
තෙත වියැළිලා තිබුණාට නෙත
කඳුළු වැටෙනා හඬ ..
කණ තියා පපුතුරේ
අසන්නට නුඹලාට අවසරයි..
තාත්තගෙ ආදරේ සැර තමයි..
ඒ රඟන භූමිකාවේ හැඩයි…
ආදරේ හංගාන උන්නාම
විසිවෙනා..කොන්වෙනා.. අවසනේ..
තාත්තෙක් හැමදාම අසරණයි..