ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

~පෙම් කවි ලියන්නෙක් නොවේ~

~පෙම් කවි ලියන්නෙක් නොවේ~

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2023-May

Translation of the poem ‘Not a love poet’ by Rudy Francisco

පෙම් කවි ලියන්නෙක් නොවේ මා, අවංකවම
එහෙත්
හෙට උදෑසනම අවදිව
ප්‍රේමය ගැන ලියන්නට සිතුනොතින්
මගේ පළමු කව
ඔබ ගැන වනු ඇත

පෙම් කවි ලියන්නෙක් නොවේ මා
එහෙත් ලියමි මම
ඔබේ වත දකින’යුරු හැම වළාවකම
ඔබේ පිළිබිඹුව, හැම කවුළුවකම

ලියා ඇත මා දස දහසක් කවි
කෙසේ හෝ
මිදී ඒ අකුරු අතරින්, පිටු මතින්
ඔබ මා ළඟට එනු ඇතැයි සිතමින්

පෙම් කවි ලියන්නෙක් වී නම්
ලියමි මම
ඔබ වටා ඇති හැම දේම අසුන්දර විට
සුන්දර ව පැවතීමට
ඔබ තුළ ඇති නිර්භීතකම ගැන

ඔබ ඇසිපිය ලන හැම මොහොතකම
ඔබේ ඇසි පිය, වෙණ තත් වී
මහද සංධ්වනි මවන’යුරු ගැන

මෙය අමුතු ඉල්ලීමක් බව දනිමි
එහෙත් ඉඳහිට
දෙවියන්ගෙන් යදිමි
ඔබ නැවත මගේ ඉළ ඇටයක් කරන ලෙස
එවිට ඔබ නොමැතිව
එක් දිනක් වත් ගත නොවෙනු ඇත.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Rudy Francisco ඇමෙරිකාවේ කැලිෆෝනියා පෙදෙසේ වෙසෙන තරුණ නිර්මාණකරුවෙකි. කාව්‍ය නිර්මාණ පොත් හයක් ලියා ඇති ඔහු Poetry Slams වෙනුවෙන් සම්මාන රැසක් දිනා ඇත. ජාතිවාදය, පන්තිභේදය මෙන්ම ආදරය සහ ආත්ම කථනය වැනි තේමා ඔහුගේ කවි වල සුලභව දකිනු හැක

Poet’s photo and bio- https://www.iamrudyfrancisco.com/
Photo- Pixabay