2024 නොවැම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2024 නොවැම්බර් කලාපය

ගත නොහැකිව හමනා සුළඟේ තරම කහ ගැන්වී ගිලිහෙන පත් වට අරුම දසක තුනක් රහසේ සැරසුණ යුරුම දෙසතියකින් පෙන්වයි නව දලු නැගුම

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන
හිමකැටි ආදරය

හිමකැටි ආදරය

අනුර හෑගොඩ

කවියෙකු හැටියට අප දන්නා හඳුනන අනුර හෑගොඩ කෙටි කතාකරණයට එළඹ සිටින්නේ එම ක්ෂේත්‍රය කෙරෙහි ළෙහි උපන් ආදරයෙන් බව පෙනේ. ඔහු කෙටිකතාකරුවෙකුට අවශ්‍ය රමණීය බසක් උරුම කරගෙන සිටින බව පැහැදිලිය. මිනිස් චිත්තයේ ගැඹුරට කිමිද එහි පත්ලේ ඇති සම්පත් සොයන්නට ඔහු ගන්නා වෙහෙස අගය කළ යුතුය.
ජයතිලක කම්මැල්ලවීර

අනුර හෑගොඩ කෙටි කතා රචනයෙහි දී ඉවහල් කරගෙන තිබෙන්නේ බොහෝ විට කාව්‍යකරණයෙහි ලා ප්‍රචලිත අත්දැකීම් ක්ෂේත්‍රයක් විදහා දක්වන 'ජීවන සංවේදනා’ වේ. පාඨකයා තුළ සංවේදනා උපදන ඔහුගේ අත්දැකීම් ඔස්සේ කුළු ගන්වන්නේ අනුවේදනීය මානව හැඟීම් ය. ඔහු නිරූපණය කුඩා දරුවෙකු ද, පෙම්වතියක ද, වියපත් මිනිසෙකු ද, පාඨකයාගේ නෙතඟට කඳුළක් ගෙන එන්නේ ඉහත සඳහන් කළ ‛සහකම්පනයට’ පාඨකයා පත්වන බැවිනි.
හෑගොඩ ස්වකීය ජිවිත කාලය තුළ නෙක අවකාශයන්හි අසන ලද - විඳින ලද අත්දැකීම් සිය පන්හිඳට ගෙන පාඨකයා කියවීමට රුචිකර අර්ථ රසයෙන් ද අනූන කතා මාලාවක් රචනා කරන්නට සමත් වී ඇත.

මහාචාර්ය සරත් විජේසූරිය පෙරවදනෙන් ....

කවිය බලන්න
තිලොවට තිලකව බුදුබව ලබනා මෙත් බෝසතුන්....

තිලොවට තිලකව බුදුබව ලබනා මෙත් බෝසතුන්....

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

තිලොවට තිලකව බුදුබව ලබනා මෙත් බෝසතුන්
විවරණ ලැබූ පුර පොහොයයි ඉල්පුර උතුම් ...............
සිත් පහදවාගෙන මතුවට බුදුබව පතලා
ගත් අදිටනින් ගෞතම සසුනට බැඳිලා
ලත් අවසරින් සළුවක් මුණිඳුට පුදලා
ඉල්පොහෝදිනේ මෙත් බෝසත් විවරණ ලබලා

තිලොවට තිලක අපෙ සම්බුදු හිමිගේ
බෙදුමට දහම් හැටනම පලවෙනි සඟගේ
දෙසුමට දහම් සනසා මනුදන සැමගේ
ඇරඹුම වුනේ ඉල්පෝ දිනකයි අපගේ

සම්බුදු සමිඳු අපෙ ගෞතම මුනිඳු
උරුවෙල විසූ ජටිලයො ළඟ විහිදූ
සම්බුදු බලෙන් තුන්බෑයන් අවිදු
ඉල්පොහෝ දිනේ පැවිදිව ඇත පසිඳු

ගිහිගෙයි සිටියදි ඔහු වී උපතිස්ස
රූපසාරි මව්තුම මිසදුටු දැගැස
යහමග ගෙනා සැරියුත් හිමි අගස
අපවත් වුනි එදා ඉල්මහ පෝ දවස

පෙරවස් වසන්නට නොහැකිවු සඟරුවන
පසුවස් පවාරන්නෙත් මේ පෝයදින
ථූපාරාමෙ වැඩ පෑතිස් නිරිඳු දින
ඇරඹුමසිදුව ඇත ඉල්පෝදා සොඳින

Photo credit; Aileen David

කවිය බලන්න
අමුතු   වීදිය

අමුතු වීදිය

අමිතා පද්මකුමාරි

එන්න කන්න කියමින්
නැඟෙන රසමසුවුළු සුවඳ
මවන කුසගිනි බොජුන්හල්
විදුලි එළියෙන් දිලිසෙන
සිනාසෙන කෙළි බඩු ද
ඇඳුම් පැළඳුම් පිරුණු
විසිතුරුය කඩ පේළි
සුරලොවක් සේ සදිසි
සෙනඟ ගැවසෙන වීදියේ
දිරාගිය වැරැහැලි කෑලි
වසාගත් කෙසඟ කය
ගිනිගත් රළු පොළවේ
තබා නිරුවත් දෙපා
කුණු බක්කි අවුස්සන
කුඩා දරුවෝ රැසක්

කවිය බලන්න
ඇය සහ සිහින ලොව

ඇය සහ සිහින ලොව

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සඳ ඇවිත් නා ගසින් පෙරා දෙන කිරණ සේ

හිරු බසින සැඳෑවේ මද නළේ පහස සේ

ඇය දසන් විහිදලා හෙලන රුව දිගු නෙතේ

සිත සුමුදු කර යමින් හදට සිසිලක් දෙතේ

සිහින් හඬ නගාගෙන බසින දොළ හා සමව

පසන් විරිතට ගයන කිරිල්ලී තටු සළයි

ඉද්ද අරලිය මලින් සුවඳවත් වී හමන

සුළං පොද කුරුල්ලා ලෝලයෙන් මත් කරයි

ඇගේ වත මේ ලෙසින් උදේ සවසදි මදෙස

බලාගෙන හිඳින කල මා මනස නලියමින්

කෙදින අප ලං වේද කෙදින අප හමු වේද

කියා අසමින් මහද කිති ලමින් වියලි යයි

මෙලෙස කොපමණ කලක් ඇගේ දිගැසින් විදින

ඇගේ නළලින් පෙරෙන ආලෝක කිරණ වැල

මනෙත් ලොල් කරනුයෙ ද මහද තුළ සරනුයෙ ද

රැයෙක සපැමිණ මවෙත තුරුළු වී පවසන්න

ඇය දසන් විහිදමින් හෙලන ඒ දිගු බැලම

නොහැක මට ඉවසන්න ඉගිල යමි ඇගෙ ලොවට

දිගු කලකි අප හමුව එය සොඳුරු ගීතයකි

නොනවතා වයමි මම ගයන් දිගටම ගීය

ඇසෙන විට තුරු වදුළු - තුලින් මතුවන ගීත

වන පෙතක මැදින් දොළ ගලන නිසසල තාල

දකින සඳ කිරිල්ලී හොටට හොට තබාලා

පියාපත් සළ සළා කරන මුකුළුවෙ සිරිය

හිමිදිරිය නිසල ලොව ගෙන දුන්න එ'අසිරිය

ඇසෙන විට ඈත සිට නැගෙන ඒ මිහිරි නද

සියුම් සතුටක එතෙන වේදනා තරංග ද

ඇය සමග පාව විත් සළනු ඇයි මගේ හද

කවිය බලන්න
ශිල්ප දැක්ම

ශිල්ප දැක්ම

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

හැම දේකටම උරණව තේජස් පෙන්නා
උරුමේ තිබුණ රජ කම එළියට ගෙන්නා
අඩි හප්පලා එකවිට සටනට පැන්නා
මනමේ රජුට වුණදේ කවුරුත් දන්නා

අන්සතු අඩවියක වැදි රජුනගෙ පාරේ
සටනට ඇල්ම වැඩිවිය මතුවිය ආරේ
නුවණින් සොයන්නට පිළිතුරු තිර සාරේ
ශිල්පය නොවෙද රජෙකුට හිමි මේ වාරේ

ශිල්පය නොලද්දෙද පැන විසඳන තාල
ණුවණින් මුලින් කඩු හී දෙවනුව බාල
බරණැස රජුනි නුඹ ඔළුවට ගෙන ආල
දුනු කඩු ශිල්ප මතුවිය අකලට කාල

AnA 10/2024

කවිය බලන්න
පාළුවට ගිය මහ ගෙදර

පාළුවට ගිය මහ ගෙදර

අනුරාධා ගුණසේකර හොරණ

එදා සෙල්ලම් පිටියේ වෙස් ගත්
මහ ගෙදර මිදුලේ හැටී
දනක් උසකට වැවුණු තණකොළ
යටින් අපෙ පා පොඩි ඇතී
රංඩු සරුවල් සිනා සිරියෙන්
ගමේ රැවි පිළිරැව් දුනී
මහ ගෙදර අද පාළුවට ගිය
සොහොන් පිටියක වෙස් ගනී .....

එදා තුන් වේලක්ම සරි කල
දෙණියෙ කුඹුරේ වැවුණු හබරල
කොටන්නට බෑ මඩේ බැහැගෙන
සිදාදිය වෙත ගියයි දරු කැල
හැරපියා කූඩුවෙන් පියඹා
සිදාදියේ මාළිගා තැනුවට
ආවේ නෑ දරුවන්ගෙ සෙවණට
හුරුවුනේ මේ ගමේ සුවඳට ......

තනිවුනත් මහ ගෙදර කලකදි
දිනෙන් දින ලං වෙවි මහළු විය
කෙනෙක් ,තනිවෙයි සසර ගණුදෙණු
නිමා කරමින් කෙනෙක් යනකොට
දරුවෝ ගාවට නැවත ආවත්
පාලු ගෙයි ඇති තනිය හින්දම
මතකයන් පිරි ගමේ මහ ගෙයි
තමයි ඇත්තේ එකම සැකසුම ......

අම්මේ ......

කෑ කොස්සන් රංඩු සරුවල්
පිරුණු මහ ගෙයි දොරටු ඇරියම
අදත් , හැම තැන විසිර යන්නේ
එදා සුවඳින් පිරුණු මතකය
දුකක් ආවම දුවන් ආවේ
හොයාගෙන අම්මගේ උණුසුම
අනේ අම්මේ , ගමම පාළුයි
අම්ම ලොව හැර ගියපු දා සිට .......

හොරණ

Photo credit: Dominic Sansoni

කවිය බලන්න
ඔබට රිසිසේ වහින්න මේඝය

ඔබට රිසිසේ වහින්න මේඝය

ආරියරත්න ජයසිංහ මහරගම

ඔබට රිසි සේ වහින්න මේඝය
ගං හෝ උතුරා ඉවුරු බිඳෙන තුරු
මහ වැව් පිරිලා වාං දමන තුරු
වහින්න මේඝය වහින්න

උස්ම උස් ගිනි කන්ද අප දවන
කලින් කල අවදි වී යළි නිදන
ගිනියම් කඳු හිස යටවී යන තුරු
වහින්න මේඝය වහින්න

උණුවුනු ලාවා ගල්වී යන තුරු
යළි කෙදිනක හෝ දුම් නොදමන තුරු
සදාකාලිකව කන්ද නිවෙන තුරු
වහින්න මේඝය වහින්න

මනු සත් සිත් ගිනි නිවිලා යන තුරු
නොමිනිස් මනුසත මිනිසුන් වන තුරු
වෛරය නොව ප්‍රේමය රජයන තුරු
වහින්න මේඝය වහින්න.
ඔබට රිසි සේ වහින්න.

කවිය බලන්න
සඳරැස් උතුරන විල් දිය මත්තේ ...

සඳරැස් උතුරන විල් දිය මත්තේ ...

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සඳරැස් උතුරන විල් දිය මත්තේ
හිම කැට දිදුලන කාලය අස්සේ
හිත පිරිමදිනා සිතුවම් මත්තේ
පියමැන යමු අපි දේදුනු අහසේ

වාන් දමන සිතුවිලි පසුපස්සේ
දෝරේ ගලයි පැතුමන් හද මත්තේ
දකිනා විට දුව පුතු රුව දෑසේ
තව වෙන මොනවද මේ ලොව ඇත්තේ

රූ මවනා නෙක තරු කැට බිස්සේ
ඔබ හා මා නෙතු දැවටුණු මොහොතේ
පහන් තරුව සිත රැදි ඉස්මත්තේ
සුරැකිව එය අද මා ළග ඇත්තේ

කවිය බලන්න
ප්‍රේමවති පටාචාරා

ප්‍රේමවති පටාචාරා

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

සිහිනයක් සේ දැනෙන
මිහිතලයේ තැන් දෙකක
සිදුවුණා යයි කියන
කතාවකි දුක හිතෙන
නිරුවතින් ඇවිද යන
මාවතේ සැරිසරන
ලියන් දෙදෙනෙකි දෙතැන
සොබා දහම ම හඬන
බුදු රදුන් සිත නිවන
හමුවුණත් ඇගෙ පිනට
කවුරුත්ම නැත එතැන
තනි වෙච්චි පෙම්වතිට

කවිය බලන්න
සමූලඝාතනය.

සමූලඝාතනය.

ආරි ලියනගේ ඉතාලිය

වසා දමමු එ. ජා සංගමය
එයින් දැන්නම් පලක් නැත
මහ බලවතාගෙ නිෂේධ බලයට
යටපත් කරයි හැමවිට මිනිස්කම
මානව හිමිකම් කවුන්සිලය ද
වසා දැමුවට කමක් නම් නැත
නිර්දේශ ඉල්ලීම් නියෝග මත
දැන් උන් ගණන් ගන්නේ ද නැත
යුද අපරාධ උසාවිය හේග් වල
වසා දමමූ සදහට
දෙන තීන්දු තීරණ නිසිලෙස
සමූල ඝාතකයන් පිළිගන්නේද නැත.

අරාබි එකමුතු සංගමෙත්
වසා දමමූ අද හෙට
උන්ගේ එකමුතුව තිබුනානම් අද
මේ අපරාදෙ සිදුවන්නේ ද නැත
යුරෝපා සංගමය කොහෙද අද
අඳ ගොළු බිහිරි මඩමක් මිස
ඉයස් සර් කියමින් මහ එකාටම
උනුත් විකුණන්නෙ ආයුධ තරගෙට.

සමූලගාතනේ වසරක් පුරාවට
දරු දැරියන් අත දරුවන් කොපමණ ද
ඇයි දෙවියනේ නොපෙනෙයි ද නුඹලාටවත් මෙය
පාණ්ඩුකම්බල අසුන රත් වෙන්නේ නැද්ද අද.

කවිය බලන්න
ස්මරණය

ස්මරණය

බන්දුල කුරුවිටආරච්චි

ගෙදර ඉඳලත් ඔහේ
බලාගත් හැටි අගෙයි
දීග යන වයසක්ද
මද්දුමී දැලි ගාල අපෙ මුණේ .....

අනේ කට වහනවා
එදත් මේ විදිහටම
අහිංසක අම්මාට
බැනල මගෙ තාත්තත් ඔය වගේ ...

ඔෂවා, කැනඩාව

කවිය බලන්න
දිගු වරලිය.....

දිගු වරලිය.....

චමරි වික්‍රමසිංහ පිලියන්දල

එකම නැවතුමින් නැඟ
එකම නැවතුමින් බැසගිය
අතුරුදන් වූ ප්‍රේමිය
සොය සොයා වෙහෙසෙමි තවම මේ ළය

උපාධිය දමා අහකට
හිට ගතිමි දුම්රිය වේදිකාවක
හිතාගෙන අද හෝ හෙට නුඹ දකින්නට
බලමි විමසමි මැදිරියෙන් මැදිරිය
එයයි තවමත් දේව කාරිය .

අම්මා ඔතාදුන් බත් පත
මග හැරුනු වාර නම් අපමණ
එකම එක දිනක් වත්
හිත නැත ගෙදර ඉන්නට
එහෙම දිනක නුඹ ඇවිත් යාදෝ හිත බිය

මල් සාරියක් දුටුව හැම තැන
දුව ගොස් බලමි නිතරම
ගොසින් දෝ නුඹ වෙනකෙකු හා නුවරක
හිතෙන් විමසයි නොදකිනා වර

මෙය දුටොත් මගේ දිගු වරලිය
මා බලන්නට එන්නටයි මේ ඇරයුම
නුඹ නමින් සෑදූ ගෙපැලට
තවම නෑ ආවෙ කැන්දාන මනාලිය .

චායා ඇස අමල් කරුණාතිලක .

කවිය බලන්න
උභතෝකෝටිකය.

උභතෝකෝටිකය.

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

වංගු පාරක
හන්දියට පැමිණියෙමි
අනන්තයි සිතිවිලි
අනන්තයි ප්‍රාර්ථනා
සුන්දරයි ලියැවෙන කවි
බෙදුම් රේඛා නැත
සාධාරණයි
සම බිමයි හෙට දින

ඉද්ද ගැසුවා වැනි
කොන්ද නොනැමෙන
සාම්ප්‍රදායික සුළඟට
දැලි රැවුළ මතුවුණ මුහුණ
විටෙක වධයක්
විටෙක හැඩයක්
වෙන්ට ගත්තා පමණි
දිලෙන දෑසින්
සොයන පෙර මඟ
යෞවනයා වෙමි

හරස් පාරෙන්
සුසුදු හසඟනක
මතු වෙයි

මේ යෞවනේ
සිහින දෙව් දුව නොවෙ ද
දෑස අභියස ප්‍රාදුර්භූත
බදා ගන්නෙමි ඇය
මගේ පපුවට හිර කර
තබා ගන්නෙමි ඇය
මවෙත සදහට
බෙදා ගන්නෙමි
සුවඳ ජීවන කුසුම
උතුරා ගලා යන
ප්‍රහර්ෂය ඇය සමඟ
බෙදා ගනිමින්
අප සිරුරු අප සමඟ

අහෝ කවරනම් සොඳුරු
සිහිනයක් ද.

Don't disturb
please don't wake me up
I need this dream
for ever

කටු කොහොල් මාවත
දුෂ්කරයි ගමන
බිඳුන සිහිනෙට
නෙක අවලාද මැසිවිලි
දිව රෑ
ගිල දමමි නෑසූ කණින්

Angel is kicking me to
wake up to the reality

හප හපා දමන කාලය
දමමි කාල යකුගේ
අයා ගත් මුව පතුළට

කල් ඉකුත් වූ
පෙම් යුවලක්
දෑස් යොමු කර සිටිති
සිතිජය වෙත

Imminent end is getting closer

යන්ටට යමි මම මුළින්
ඇය කියයි
නිදහසනේ
ඉන්නෙ ම බලාගෙන

සංසාරයේ අවසන් ම
හමුව ද මේ
හමුවන්න බැරි ද අපට
තවත් යෞවනයක
සංසාරෙ වෙන කොතන හරි
යොවුන් නිද්‍රාවක
නුරා සුවයෙන් මත් වී
ඉන්නට
රණ්ඩු වී නොදොඩා ඉන්න
ඇණුම් පද කඳුළු මුසු කර
යාළු වෙන්නට

කෙළෙස උසුලන්නද
දුක සැප අනාගෙන
එකට වළඳන ඇය
කලින් යන බව කියන විට
අවසන් ගමන් යන
ඇගේ දෙන පසු පස
ගොස් බලමි
මනසින්
පෙර හුරුවට

එහෙත් පා එරී යයි
හිටි පියවර

නොකළ හැකි එය මට
මම යමි මුළින්
මම කියමි

වග වලස් සරණා
රුදුරු වන පෙත
කවර පිළිසරණක් වෙ ද
නුඹට
මගෙන් තොර ලෝකයක

නොදත් කළ ගුණ
පවිටෙක් වෙම් ද කෙලෙසක
ණය ගැති නොවෙ ද මම්
බෙදා ගත් හැම
සොඳුරු මොහොතට ම
සියුම් පිහි තුඩු අමතක කර

උභතෝ කෝටිකය
පෙලයි මා දිව රෑ
මිියෙම් වා
රැකෙම් වා

සංසාරයේ තව කොතන හරි

කවිය බලන්න
ස්පා.

ස්පා.

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

ඉරි තැලුනි වැවු මෙවුල
කිරි වළා තන නො දැකම
පෙති ගහත් නෙළුම් ඇට
වැටී මෝසම් තොලක තෙත..

ස්වර්ණ මාලා කුමටද
ලපටි ලැම ගෝමර පිපුණම
හෙව්වේ ද ඒ අනාමික බිඟු
දම් ද රෝසද පෙති වාසගම

ඉවසාම දුක් නියං සම
පාට ගෑවේද නා දළු අග
ටිප් එකට නොවෙමයි ගැලෙවුවේ
නටුවෙන් පළමු ඔරු අත

මව මවා හෙට තුසිත සුඛ
කරකවා පීදුවෙහි ලකැකුල
මෝර මෝරා එද්දි දා ගැබ
විසිවුනා දෝ පහළ මළුවට

කවිය බලන්න
සඳපාන නිරුවතින්..........

සඳපාන නිරුවතින්..........

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

අමාවක ඇවිදින් සෙමින්
අන්දවයි සළු පිළි
නෙක් තුරුපත් අගට නිශා කල
නොබිදින්ට අශා රැහැන්
හිරි ඔතප් නැති ලොවක වල්මත් නොවන්නට........

පුරාවක පිපී ආ හඳ පාන
චන්ද්‍රබිම්භ යුරු වෙසින්
සෙමින් දිවයයි ගහ කොළද
ගංදිය ද මතින් මහී කත
ගලවමින් ඇන්ද සළුපිළි කාල අඳුරේ
එකින් එක විවර වෙද්දී
තුණු සපුන්...........

හඳපානේ හඳපානේ රස ඇදුණේ
හද මනසේ දිවි ඇහැරේ
රූ දිළිසේ හිහඬ ජලේ
විළියෙන් රෑ නෙත් බරවේ
ගලා හැළෙන දිය දහරක
වැනී ලෙළන රුක් අත්තක
හැපී දුවන හුළං පොදක
එතී අසන් චන්ද්‍ර බිම්භයුරු
ලොවට කියන ආදරේ ........

අමාවකට බිය ඇස් ඇති
ඇන්ද නීල වස්ත්‍ර බරින්
ආශා රැහැනින් මිරිකී ගිය
සසල සිතෙන් ලොව සැඟවෙයි
පුරාවකට වැඩි සඳ දිය
වැයෙන සරට ලෙළන අතින්
සෙමින් සෙමින් කටු ගැලවෙයි
දිවා කලෙක ඇඳි සළුපිළි
මුළු යායම නිරුවතින්
චන්ද්‍රබිම්භයුරු සිනා නංගයි...................

28-10-2024.

කවිය බලන්න
විහඟ හැඩ තල

විහඟ හැඩ තල

චමින්ද ලියනගේ බලංගොඩ

පද නොලියා තනුව ලියා
නන් රස ගී ගයද්ද
කැටයම් කර සොඳුරු කැදලි
හැඩ වැඩ කර මවත්ද
වෙනත් තැනක බිජුවට ඉස
උන් ගැන නොම බලත්ද
යන එන මග ඇහින්ද
මේක සසරෙ පුරුද්ද

උදේ රැයින් අවදි වෙලා
උඩයි බිමයි ඇවිද්ද
හැන්දෑ කළුවරට කලින්
නිවසට එන පුරුද්ද
අඳුර එද්දි රැඳුන තැනක
රැයක් පහන් කරද්ද
සසර පුරුදු හරිත්ද
මේව උන්ගෙ සිරිත්ද

කොතැන ගියත් එල්ලීගෙන
බිම බලාන හිඳිත්ද
සිය මැසිවිලි දුකට කියා
පැලෙන් පැලට ඇදෙත්ද
නේක විපත් කලියෙන් දැන
අමිහිරි ගී ගයත්ද
සනුහරේක ගතිය හුරුව
මේවා අත් හරිත්ද

Photo credit; Dulcey Lima

කවිය බලන්න
ඉරහඳ ඇවිත් කියු පණිවිඩ...

ඉරහඳ ඇවිත් කියු පණිවිඩ...

චමිලා වේහැල්ල ගාල්ල

හෑම දවසක පෑයු ඉරහඳ ඇවිත් කියු පණිවිඩ ගොඩයි
සාම බහ උවමනා නම් නැත ගෙවුණු කාලය හරි දිගයි
මූණ දැක්කම වාව ගන්නට බැරිම වේවිද හිත බයයි
තාම හිනැහෙන විටෙක ළතැවෙන මතක සේරම මට ළඟයි

කීන දම් මිටි පාත මිටියාවත පුරා මුදු රටා මැවුණේ
හීන රෑණම එකින් එක ගෙන රෑක තුන්යම ලිහා බැලුණේ
කෝණ මාසෙක මැදක වාගෙයි අපි බැඳුණු ඒ යදම් බිඳුණේ
පාන නිවුනම එලිය ගැන මිස කවුද අඳුරට හඬා වැටුණේ

ඉරුණු රුවලක නැංගුරම් ලෑ අතරමං ඔරු බඳක තවුවේ
තුරුණු විය කරදඬු මහත් ලොකු පුතුගෙ නෙත්සර පහස ලැබුවේ
ගැයුනු නැළවිලි ගීත ගොළු වී ගෙදර බුදුනගෙ පපුව දැව්වේ
නිවුණු කිරි කල ආයෙ රත්කර පොවන්නයි අවසරය හෙව්වේ

Photo credit; Navi

කවිය බලන්න
නිසි ලෙස අප විඳිමු දිවිය...!

නිසි ලෙස අප විඳිමු දිවිය...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

දිවිය දිනන්නට ඇවසිම මුදල්
කියා උපතෙම සිට..,
අවිය එයට ඉගෙනුමමයි ජප කෙරුවේ කර කනකට...
සවිය ලැබුවෙ පාසැල් , සරසවිද
තුලින් දිග හරහට...
නොවිය යුතුම දේ සිදුවී ඇත
අයියෝ වැටහෙන විට...

හඹා යමින් මුදල් ⁣ලැබෙන මං සොයමින් දිවිය පුරා...
බඹා කෙටූ කෙනා ලැබුවෙ වයසට ගොස් රූපෙ දිරා...
ලබා ඇතත් ඇවසි තරම්
මුදල් හදල් බැංකු අරා...
බබා තාම චූටි එකා,
ලෙඩ එන්නේ ගන්න මරා...

සුනඛයාගෙ පස්ස පැත්තෙ බැඳපු මීයෙ, වැඩක් ඇද්ද...
දනකට පිනකටත් නොදී ගොඩ ගැසුවත් පලක් වෙද්ද...
එන විට වගෙ යන්න වෙන්නෙ කිසිත් නැතිව , එහෙම නැද්ද...
මන යොදවා දිවිය දිනනු මනුසත්බව ආයෙ එද්ද...

කවිය බලන්න
නුඹ සොයන මම

නුඹ සොයන මම

දිනෙශ් කහංගම

අනන්තෙක ඉඳන් ආ රළ වෙරළ සිපගෙන
පෙණ පිඬිති මැවූ අරුමයකි නෙත සැනසුණ
ඉනික්බිති සුණු විසුණු විනි ඇසුරු සැනකිණ
සිහිවුනෙමි නුඹගෙ පෙම මා අතරමං උන.....

වෙරළ දිග අපි ඇවිද ගිය පාර මැකෙනවා
පපුතුරෙන් නොපෙනෙන්න ඉකිගසා අඬනවා
නොලැබිච්ච හීන වල තාම සැරි සරනවා
පුරුදු ලෙස මම තාම හෙමින් පිය මනිනවා

පද බැඳපු කවි පෙළෙහි එළිසමය රැකගන්න
නොහැකිවුනු කරුණ කිම මා සොයමි සැනසෙන්න
ඉතින් එහෙනම් නුඹට අවසරයි පිටවෙන්න
ලස්සනම කවි පොතක හොඳම පද පෙළ වෙන්න...

පීටර් ☝️❤

කවිය බලන්න
කුමුදු පිපෙන වැව් ඉවුරක  ලස්සන දැක තියෙනවාද

කුමුදු පිපෙන වැව් ඉවුරක ලස්සන දැක තියෙනවාද

ධම්මි අනුරපුර

කුමුදු පිපෙන වැව් ඉවුරක
ලස්සන දැක තියෙනවාද
සඳ එළියෙන් ඒ පෙතිවල
කවි කියවා තියෙනවාද
මටම නැතත් මගෙ හිත ළඟ
සරැළි නගා හිනැහුනාට
මම ඉන්නම් ඉවුරු තලේ
කෙකිනියකව මඟ බලාන
දහස්වරක් ලියා දුන්න
බිතු සිතුවම් රුව මවාන
ඇවිත් මගෙ ළඟින් ඉන්න
ඇති ඒ ලස්සන හිනාව

24.10.17

කවිය බලන්න
කතිරේ

කතිරේ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

සිරවී තිබූ පැතුමක් කල් යල් ගෙවුන

ඉටුවී තිබේ සතුටකි හදවත නැගෙන

බිලිවී වලව් සුලිසුළඟට මෙන් හැමුන

විසිවී ගියේ කොයි දෙසකද නොම පෙනෙන

අපිනම් කවදටත් අර පක්ෂෙට කියන

ගොන්කම මොලේ පෑදීවිත් අත හැරින

තිබියෙන් මතක විඳි දුක් කරදර සොඳින

පිළිතුරු දුන්නා කතිරෙන් අමතක නොවන

දැක දැක දියුණ පිටරටවල දිවි ගෙවෙන

අමනයො සිටිති හොර නඩයට කත් අදින

පුරුදු එවුන් හැමදා පස්සම ලොවන

මලපහ මිසක අන් රස නොගනී හැඳින

බියවූ එව්වො පිල් හැර ගැලවුම සොයන

වැහිදා නොදිටි එතරම් ගෙම්බෝ පනින

දුටුවිට ප්‍රථිපලේ උන් සිටි තැන් වෙතින

නැගුනේ දුගඳ සරුවට රෙද්දේ රෙවුන

හොර තක්කඩින් දූෂිතයින් බිය වෙමින

අතහැර පැනපි සැප වාහනයන් පදින

උපදෙස් දුන්න උන්ගේ හැටි රට හදන

එලිවිය පෝෂ් හුඹහෙන් වේයෝ ලගින

හිඳිමුයි වසර හතළිස් අට තෙක් මෙතින

කියු උන් දෙසතියෙන් විමසති කෝ දියුණ

මුහුණු පොතේ බිත්තර ණය ගැන හඬන

වැලපුම් නොවිය කජු ගැන ගුවනින් ගමන

කුඩු මුදලැලිලා හොරු කවටයො ගොන් අමන

එලවා දමා තුමු රැකි මව් බිම රකින

උගතුන් තෝරගෙන මැති සබයට යවන

යුතුකම ඔබෙයි දෙනු ඡන්දය ගෙන නුවන

කවිය බලන්න
Autumn

Autumn

දීපා ද සිල්වා ලන්ඩනය

සෙලවෙන
විසිවෙන්න දගලන
වැහිපොදට
බියවෙන
හැංගෙන්න
පොරකන
කහ ගැහුණු
පත් අතර
රහසේම සිටින
කොලපාට
පතකි මා
කාටවත්
නොපෙනෙන ….

කවිය බලන්න
ඉල් මහ විරුවෝ..

ඉල් මහ විරුවෝ..

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

වැල් රුක් අත්තන මල් බිම වැටිලා..
කහ සිවුරක රෙදි කෑලි වගෙයි.

ගිනිකණ බිඳලා නිවන් පුරේ යැව්...
පොඩි හාමුදුරුවෝ හිතට නැගෙයි.

ඒ ළඟ වද මල් ගුලි වී හැලිලා..
ගැලු රත් ලේ බිඳු මිදුණ වගෙයි.

වප් මහ ගෙවිලා ඉල් මහ එනවා..
ටයර් රබර් ගඳ මතකෙ දිගයි.

**********************************

මළ හිරු අහසේ තුරුණු ලෙයින් ලිව්..
කවියෙන් තව රතු පැහැ වැගිරෙයි.

නමක් නොදන්නා වැලකින් පිපිලා..
දම් පාටින් මළ හීන හැඟෙයි.

අරිමි කවුලු තිර නිදිමත ඉරලා..
තවම බොහෝ තරු අහසෙ දිලෙයි.

දනිමි හැඳින්නෙමි උන් ඇහැ ඇරිලා..
ඉල් මහ පරවුණු කුසුම් වගෙයි.

වෛද්‍ය නිලධාරී .
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල .
2024.10.12.

කවිය බලන්න
වලාකුලේ ඔබ හෙට

වලාකුලේ ඔබ හෙට

හිරුණි විතානගේ

වලාකුළු බැම්මක්,
පෙරළී පෙරළී එන
නොමනා හුළං වැදෙයි
කැඩෙයි විසිරෙයි
මොළකැටි ඔබ

එකතුව එකිනෙක
බිඳු බිඳු වතුර
වැටෙයි මහ වැස්සක්ව
කොහේ හෝ වියළි පොළොවක
අසිරියක් ව ඔබ

Photo Credit : Robert Murray

කවිය බලන්න
රතු කුරුල්ලා

රතු කුරුල්ලා

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

Translation of the poem ‘Red Bird’ by Mary Oliver

වෙන කිසිවෙකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනිලමින්
මුළු සීත කාලය පුරාම පැමිණියේය

ගේ කුරුල්ලන්ට මා කැමති බව සත්‍යයකි
ඒ දුඹුරු පැහැති කුඩා උන්
බොහොමයකි
උන් නිරතුරුවම කුසගින්නෙනි

මා නිරතුරුවම කුරුල්ලන්ට කෑම දෙන්නෙකි
දෙවියන්ට කුරුළු දරුවන් බොහොමයක් ඇති බව දනිමි
ඉන් හැමෙකෙක්ම එඩිතර නොවන බවත් දනිමි

නමුත්
කුමක් හෝ හේතුවකට
සමහර විට සීත ඍතුව බොහෝ දිගු වූ නිසා
නිරතුරුවම අහස කළු- නිලකින් වැසී තිබුණු නිසා
නැතිනම්
සමහර විට හදවත විවර වන තරමටම
හැකිලෙන නිසා

ඒ රතු කුරුල්ලා
වෙන කිසිවෙකුටවත් නොහැකි වූ ලෙස
තම පැහැයෙන් හාත්පස ගිනිලමින්
මුළු සීත කාලය පුරාම පැමිනීම ගැන
මම කෘතඥ වෙමි.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Mary Oliver (1935-2019) ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ උපත ලැබූ කිවිඳියකි. ස්වභාව ධර්මයේ සුන්දර බව කවියට කැටි කරගැනීමට මහත් සමත්කමක් දැක්වූ ඇය, කවි පොත් තිහක් පමණ පළ කර තිබේ. Mary Oliver කාව්‍යකරණය සඳහා පුලිට්සර් සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කරගෙන තිබේ.
Photo- Ray Hennessy on Unsplash

කවිය බලන්න
යනවද සිතේ මාවත් ළඟ තබා ගෙන

යනවද සිතේ මාවත් ළඟ තබා ගෙන

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

තරුවක අරුම හිස් අහසේ දිලෙන විට
පහනක අරුම මඟ කළුවර දකින විට
දිය බිඳ අරුම කතරක සැරි සරන විට
නුඹ මට අරුම ගොළුවී දුර ගිය දිනට

නෙත ඉනු කඳුළු බිඳු වියළී ගිය දාට
රොස් මුවදොර සිනා මලක් පිපි දාට
සිතේ බරක් නැතිවම යන දුර ගමන
යනවද සිතේ මාවත් ළඟ තබා ගෙන

10.10.24

Photo credit; Mantas Hesthaven

කවිය බලන්න
ආනන්දෙ හොස්ටල් කවි

ආනන්දෙ හොස්ටල් කවි

ජනක එදිරිසිංහ Melbourne

ත මිට මිල මුදල් නොමැතිව හිටි කාලේ
ධවලගිරියෙ තෝසේ ගිල දැමු තාලේ
ඉඳහිට අදත් සිහිවෙයි මතකය බාලේ
මරියකඩේ අපි ගිය ලොකු ඉස්කෝලේ

ශිෂ්‍යත්වයෙන් ගොඩවී හොස්ටල් ආවා
හොස්ටල් පරිප්පුව එක දිගටම කෑවා
ගෙදර මතක්වෙනකොට සියොලඟ දෑවා
හිර කඳවුරු වගෙයි දැන් බැලුවම මේවා

උදේ පහට නැගිටින බෙල් එක වැදුනා
පහයි තිහට ස්ටඩියට අපි ඇදුනා
හතයි තිහට මල් පූජාවක් යෙදුනා
ඊට කලින් බ්‍රෙක්ෆස්ට් එකකුත් ලැබුනා

දහයයි තිහට දෙන කිරි තේ එකක් ඇත
ප්ලාස්ටික් මිසක් වීදුරු කප් අපට නැත
දෙක තුන බොන නිසා සමහර එවුන් කැත
අන්තිම උන්ට කිරි තේ බොන වරම් නැත

පාසැල නිමවෙලා අපි ආපසු එනවා
ඩයනින් හෝල් එක ලඟ පෝලිම් වෙනවා
ටිං ටිං හඬින් බෙල් පොඩියක් නද දෙනවා
ඒ අවසරෙන් අපි ටික ඇතුලට යනවා

ඇතුලට ගිය නමුත් ගින්දර ඇතුව බඩේ
එකපාරටම කන්නට සෙට් උනොත් ලෙඩේ
නායක ප්‍රිපෙට් පුටු කකුලෙන් දමන හඬේ
අවසර ලැබෙන තෙක් හිටගෙන සිටියි නඩේ

බතකුයි මාලු පිනි හතරක් දිස්නෙ දිදී
තිබුනට අපිට ගෑවෙන්නත් ඒව මදී
සමහර විටක මස් නොකනා උනුත් ඉඳී
උගෙ මස් කෑල්ලට කවුරුවත් ඌට වඳී

දහවල් කෑම නිමවේ දෙක හමාරට
රූම් ටයිම් එන්නේ ඒ වෙලාවට
සරමක් ඇඳන් ඇඳ උඩ නැග කලාවට
පැයබාගයක් රෙස්ට් කරනව සිරාවට

තුනයි තිහට තේ පානය පිණිස අපී
ගියවිට ලැවරියා තිබුනොත් අපිට හැපී
සද්ද කලොත් හෙම කනබොන විටද අපී
ප්‍රිපෙට් ඇවිත් දඬුවම් දෙයි හොඳට කිපී

ඉන්පසු පහයි තිහ වන තෙක් නැතුව ලෙඩක්
අවසර ලැබෙයි කරගන්නට ඕන පුකක්
හයට කලින් ඇඟපත සෝදලා ටිකක්
ස්ටඩි වලට සෙට් වෙන එක හෙන ඇණයක්

ස්ටඩි දෙකයි ඒ මැද්දේ රෑ කෑමයි
කෑමෙන් පස්සෙ ස්ටඩි එක හරි කූරයි
නිදමත ඇවිත් නිතරම ඇස් දෙක පාරයි
ස්ටඩියේ නිදන්නට අපි හරි සූරයි

සමහරදාට ටී වී ෂෝ එකක් ඇත..
ටාසන් එහෙම දිස්වෙනවා තිරය මත
තව කාරණාවකි පිනවන හැමගෙ සිත
නිදිමත ස්ටඩිය ඒ දිනවලට නැත

ගෙදරින් විසිට් ආවොත් නත්තල් වාගේ
"දෙවොල " ගෙනාවද පැනයක් සිතට නැගේ
සමසේ බෙදා කට්ටියටම නොකර අගේ
ඉතුරු ටිකට පොරකයි තිරිසන්නුවගේ
#තිරිසන්නුවගේඅනේ

පාවා නොදී ගුටිකන එක ඉවසීම
එකෙකුට ලෙඩක් වැටුනෝතින් එක්වීම
ඕනම දෙයක් කා ගන්නට හැකිවීම
වාගේ හොඳ පුරුදු ඇතිවෙනවා බෝම

තිස්වසරකට පෙර මතකය සිතට නැගේ
හොස්ටල් බජාර් එක තවමත් එදා වගේ
සටහන් කරමි කවි සිතුවිලි මතක මගේ
අදහස් කියාගෙන යනවද නොකර අගේ

#ජනකවිකාර
#අපිත්කවියොතමයිඩෝ

කවිය බලන්න
අරන්තලාව

අරන්තලාව

කපිල විජේසේන

හිත් නිවනු වෙනුවට
කෙසේ ඔබ තැනුවේද
හිස් අත් පා වෙන්වුණු
සග ගණ සබැ වුවන් ලෙසින්?
අසන විට දරුවන්
කුමක් පවසනුද උන් හට
කියා දෙනු මැන
කලා කරුවාණෙනි

කවිය බලන්න
ලියන්නට ඇති දෑ

ලියන්නට ඇති දෑ

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

අවුල්ව ගිය මනසකින්
ලියන්න දරන තැත
දරන ඒ ප්‍රයත්නය
නිෂ්ඵලයි සැමදාම

එහෙත් ඔබ හදවතට
කියන්නට සිතන්නට
සිතනවිට හදවතින්
සිතුවම් මැවෙන්නට
ලිය යුතුයි යම් දෙයක්

සතුට නොම දුටු හදවතට
ඔබෙන් හැදුනුම් ලැබූ
සදාතනික නොවූ
ඒ පැතුමන්

එහෙත්
ගෙවී ගිය අතීතය
සොඳුරු වූ අතීතය
පොදි බැඳන් කරපිටින්
විරහවේ වේදනා
වැජබෙනට සදාකල්
සැලසුවේ ඒ ඔබයි.

වින්ඩ්සර්, කැනඩාව

Photo credit; Joshua Newton

කවිය බලන්න
අස්පර්ශනීය ප්‍රේමයක්

අස්පර්ශනීය ප්‍රේමයක්

කපිල කුමාර කාලිංග

ඇය පසෙකට වෙයි,
'මා අස්පර්ශනීය' යැයි කියමින්,
තිර රළු හඬින්,
පසෙකට ගනිමි මම,
දිගු කළ
අත
වත
නමුදු පසුබට
නොවෙමි,
ගෙන සිතුවිලි පස්මල්,
තනා හී සර,
විදිමි එකිනෙක,
ඈ තුණු කය වෙත,

ඒ මේ අත පැන,
සැඟවෙයි ඈ,
යළි යළිත්,
විදිමි මම.

පසුව ඇය,
දාසියක ලවා,
එක් රැස් කරවා,
ඒ හී සර,
තැන්පත් කරයි,
රහසි කුටියක.

එක් සීත රැයෙක,
ගෙන එක් හී සරක්,
පිටතට,
ඈ තම උණුසුම් අත්ළින්,
ඒ පිරිමැද,
ඔප දමා -හී තුඩ,
බලා සිටී,
සැළෙන දෑසින්

ස්පර්ශනීයයි නොවෙද,
මා සිතු සර,
නොවැදුණත් හද මඩළට,
පළිහකි ඔබ ගත,
එය වැද රිදුම් දෙන,
කෙසේ නම්,
අස්පර්ශනීය වන්නේද ඔබ?
අමනාප වුව,
ප්‍රියමනාප නම් මට ..

24/10/28

කවිය බලන්න
සමනල සඳෙස -18

සමනල සඳෙස -18

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 16

බලංගොඩ යතිවරයාණෝ

335. දිවි පරදුවට තබමින් කඩු හරඹෙ සුර
රිවි - සදු හැම පැයේ රකිමින් ඇලුම් කර
කවි පද සතරකින් වට කළ නොහැකි හර
සවි ගත් පිරිස් ඇත තව ලක් මවට බර

336. හෙළයන් රැක්ක මේ බිම ඩා මුගුරු හෙළා
ගන්නට උදුර පින් බිම උහු සටන් කළා
යස පාඩම් දෙමින් පර බල වෙනස් කළා
කන්නට වුණි මැරුම් තැන-තැන රුහිරු හෙළා

337. කසවත දරා ගත් යතිවරු පුරාණයේ
සිටියලු බොහෝ දෑ කරමින් සමාජයේ
කිසි දින කිසි විටෙක පෙර පය අයාලයේ
ගත්තේ නැති ලු පස්සට මරු විකාරයේ

338. එඩිතර ගතිය තිබු ගත නලවැල් අස්සේ
කඩිසර කම දෙ වැනි තැනට ද නැහැ බැස්සේ
මඩිතර කර ගැනුම වෙනුවට දන බිස්සේ
පඩිවර නැණ-නුවණ දෙස-රැස-බස ඉස්සේ

339. කරවා පියස්සක් වෙනුවෙන් ගම් දරුවන්
සදවා තෝතැන්න නැණ ඇස දෙන අටියෙන්
බඳවා දරු - දැරිවි ඒ ගම සතර වටින්
හැදුවා ලක් මවට වැඩ ඇති පඩි - වියතුන්

340. සමනල බලං මෙගමින් බුදු බලය ගෙනා
සමනල බලං මෙගමින් විදු නැණැස ගෙනා
සමනල බලං මෙගමින් සිප් සතර ගෙනා
සමනල බලං වියතුන් පඩිවරුන් ගෙනා

341. නොරද එක තැනෙක කැළඹෙව් ජවෙන් වැඩ
නොමද වෙර - වැරින් වපුලෙව් දහම් ගොඩ
සුවද දෙත අදත් රටට ම කළෙන් වැඩ
අනඳ මෙත් සුරුන් පැවිදි වු බලංගොඩ

342. සමනොල තොපට වැටහුණෙ දැයි කවුරු කියා
විමසුම වටී යතිවර පිළිබද ව සොයා
කිව යුතු හැම දෙය ම දත් පද රසට තියා
කවිකර කියනු මැන දත දන රැසට කියා

සමනලයා දුටු යතිවරයා
බලංගොඩ ආනන්ද මෛත්‍රී යතිවරයාණෝ 22

343. ඉපිද බලංගොඩ ගම් පියසේ තැනෙක
විහිද සිප්-සතර තටු පරතෙර නොදැක
මුහුද ජල තරම හිමි දැණුමෙන් නොසැක
සැරද! අනඳ මෙත් හිමි සිරිලක තිලක

344. මිහිමත වැටුණු මිණි කැණ් ගෙන සතර දෙසින්
සිරිකත කැදවමින් සුව දෙයි සුළඟ හෙමින්
මිහිකත පඩි කොතඹු මිණ ඔබෙ නමට උසින්
සිරි-වත සදිසි මල් සුපිපෙයි සුවද දෙමින්

345. ගැඹරෙන් මහ සිදුත් පරයන බුදු දහමේ
ගුණයෙන් බුදුන් දුටු ඇතු මෙන් හික්මීමේ
බලයෙන් යදම් සවිමත් නැති කිතුනුකමේ
දත් මග සකු-අවර-හෙළබස වෙතට නැමේ

346. කදවුරු බැන්ද “නැණරුත් පදිපය විදුර”
බොදු බලය ම නසන්නට කළ “මහ සිදුර”
හඩට - හඬ ම දී හිමි දුන් “දම් පහර”
වැද-වැද අතට දිව්වැයි “නොනැවති සතර”

347. සිප් සෙවන ද හැදූ ඔබ ඉපැදුණු එ ගමේ
විප්ලවයක් වුණා ගමට ම තුරුණු කමේ
දිප්තිය ලබන සිසු දරු-දැරියන්ගෙ පෙමේ
තෘප්තිය එයයි හිමි ලද ජය කෙහෙළි බිමේ

348. බලං ගොඩ බලන් ගමකට නම දුන්නූ
බලං ගොඩ බලන් දැයකට රැස දුන්නූ
බලං ගොඩ බලන් රටකට කිත් දුන්නූ
බලං ගොඩ බලන් මවකට එඩි දුන්නූ

349. විදු නැණ බුදු මිණ ද කෙත වූ කලාවට
පොදු හැම සිසුන් බැඳ හුරුකොට මනාවට
හුදු අරමුණෙන් නෙත් පාදන මනාපෙට
මුදු හිමි රකු! බුදුන් දක්නා තුරාවට

350. ඔබ දත් දැනුම වියතුන් - පඩිවරුන් පවා
ගෙන “හුණු ටිකක් ලෙස කිල්ලෝටයට” කවා
විසදුම් ලබා දී දත දුක - වෙහෙස නිවා
සැනසුම් - සුසුම් හෙලුවැයි සිත් සතුට දෙවා

351. සපරගමු පෙදෙසෙ - තව රුවන් විරුවකු ලෙසින්
බිහි වූ හ හිමි අනඳ - ලක් මවගෙ මව් කුසින්
සැළ වුණේ සතර දිග් - භාගයට එක රැයින්
දෙන සුවද නැණ නයන - දෙස බසට මුදු මුවින්

352. මහා සග මි‍‍ණි කිරුළ ඔබ පැළැදි බව පෙනේ
මහා වියතුන් වුව ද ඔබ අසල ගොලු වුණේ
මහා පඩිවරුන් මැද වුව ද නිති බැබලුනේ
මහා සඟ සමිද අපෙ පිනට දෝ ඉපදුණේ

353. ගැඹුරු බුදු දහමෙ තතු සරල ලෙස දැක්වුණේ
සොයුරු යතිවරුන් නැහැ කිසිකලෙක කොණ්වුණේ
වියරු නොම වන විලස බොදු - කිතුනු දම්පැනේ
මියුරු ඔබෙ වදනින් එ දවස තුළ විසදුණේ

354. ඇදුරු පදවිය ද නායක - හිමි පදවිය ද ලබා
ගම ද එළි කරණු වස් - ඔබෙ අසිරි පද තබා
පිරිවෙනකි බිහි කෙරූ - ඔබේ නාමෙන් හොබා
ගරු අනඳ හිමි නමට - වදී සත හිස ඔබා
(මතු සම්බන්ධයි.)

2024.11.01

කවිය බලන්න
ජීවිතේ ම බිලක්, ගෙවා දැමිය යුතු ණයක්....

ජීවිතේ ම බිලක්, ගෙවා දැමිය යුතු ණයක්....

කුමුදි නෙත්තසිංහ මොරටුව

.

සූතිකාගාරයෙන් ගැටගසා අංකය,
චූටී මොළකැටි සිනිඳු මල් පෙති අතට....
දමා උප්පත්තියට අංකයක්
ලොවට තව එකෙක් ලෙස..
ගෙවන්නැති කව්රු හෝ බිලක් ඔබ නමට...

කව්රු හෝ ගෙවා බිල් වටිනාකමට
ඇතුළත් වීමේ අංකයට
ලොකුම ලොකු බිල්ඩිම් ප්‍රමාණෙට,
දහතුන් වසරක් කටුව තුළ හැංගිච්ච ඉබ්බෙක් ව...

මොනවද ඔබ දන්නේ,

එකිනෙකා පරයන්න...
රේස් එක දිනවන්න...

හති වැටී,හති වැටී
පිටු ගණන් ලියද්දී

කවදාද උගත්තේ
අනෙකාට අත දෙන්න
බැරි ගණන් කියාදී

පන්තියේ අන්තිමයා
තුරුල් කර සිනාසී

පසුපසින් දිරි දෙන්න..

බිල් ගෙවා ඇමතියගේ ලේකම් ට පෝස්ට් එක ගත්තාට....
ඔෆීසියේ ඔබේ මේසේ
හිස් වෙද්දි ,පිරෙනවා
හිස් වෙවී, පිරෙනවා
හිස් වෙද්දි පිරිලා ද ඔබ

පවුලේ ම බර දරන්
පිටේ බැඳගෙන යමන්
කවදාද හැඳිනුවේ
ඔබට රිසි කුමක්දැයි

බිල් ගෙවා, බිල් ගෙවා
ඉතිං, ඉවරයක් නැද්ද...?

අංක සෙල්ලමේ ඔබේ
කාලයක් ගතවෙද්දී
ඉල්ලක්කම් වැඩි වෙද්දි

ඉතුරු වී තියෙනවද කාලය
තවම පෙර විලසමද ආලය
සුමට කර ඇල්ලුවද තාලය
නැහැ නේද ? ජීවිතේ පඹ ගාලය

ළමයාගේ විභාගෙයි
බිරිඳගේ ඇඳුමටයි
අම්මාගේ මරණෙටයි
තාත්තගේ දානෙටයි
මල්ලී ගේ මගුලටයි
අක්කාගේ බේතටයි
බිල් ගෙවා,බිල් ගෙවා
ඉවරවෙන දවසක් ඇද්ද

සීතල ගොරහැඬි අතට
ගැට ගසන්නට පෙර අංකයක්...
බිල් ගෙවා,බිල් ගෙවා
ඉවරවෙන දවසක් ඇද්ද

නැවතිල්ලේ හිතද්දී
ඔබ හුස්ම ගත්තා ද
බිල් වලින් තොර ලොවක
ජීවිතේ වින්ඳාද...

මිතුර,
අවසන
ඔබ ට ඔබවත් ඉන්නවද, නැද්ද...?

කුමුදි නෙත්තසිංහ, මොරටුව

කවිය බලන්න
දෙදරන මගෙ ලෝකය!

දෙදරන මගෙ ලෝකය!

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

සදු ලෙස වරෙක සිසිලෙන් මා නහවාලා
හිරු ලෙස එලිය දී අදුරෙන් ගලවාලා
හෙට නුබ නැතොත් මගෙ ලෝකය දෙදරාලා
යන හැටි බලනු බැහැ අම්මේ ඉවසාලා

අම්මේ මාව නුබෙ ඇකයේ හිදවාලා
මුසුකොට සෙනෙහෙ කිරිදී කුස පුරවාලා
තුන් රැය පුරා මා වෙනුවෙන් නොනිදාලා
විදි දුක් කියන්නට මට නැහැ පදමාලා

වැටුනම දන ගාත්දී බිම පෙරලීලා
ගත මෙන් මගේ සිත පිරිමැද සනසාලා
හිට ගන්නටත් අතදී මට වෙරදීලා
රජ කල පුතා ඇත කිරුලක් පලදාලා

කවිය බලන්න
සඟල හංසයන්

සඟල හංසයන්

ගමගේ ලයනල්

පවනට සෙලවෙන සුළු
හැට්ටය ඇඳි සළුපිළි
ඇති කවුළුව හරි පොඩි
ඒත් දකින දේ ලොකු

සැඟවුණු රන් තිසරුණි
පපු යහනේ සැතපෙති
ඒත් නැගිට ඉගිලෙති
හිතේ තියේ සලකුණු

පොකුණු නැතත් හැඩවුණු
" රූම් " කියා වැතිරෙති
හිරු එළියට දිස්වුණු
දවසක් නැත හමුවුණු

බකමූණෝ පියඹති
කළුවර වී නොපෙනුණි
ඒත් ඇඟේ දැවටුණු
මට අමතක නෑ සුදු

කවිය බලන්න
හසරැළි

හසරැළි

ලියෝමි චාමිකා

තදම තද කලු පාට
ඇගේ, අක්බඹරු කෙස්කලඹ
පැහැර ගත් හැටි
මගේ හදවත

අත තබා හිස මත
ඇගිලිතුඩුවලින් පිරිමැද
නළලතම සිඹ, බෙදා ගත් හැටි
අපි අපේ සෙනෙහස

මුරුගසන් වරුසාවෙ දියවැද
සමුගද්දි සොඳුරියගෙ කෙහෙරැළි
තදින් බැඳුණෙමි හදවතේ හසරැළි

කවිය බලන්න

"හද රිදුම්."

ලලනී ගීකියනගේ රත්නපුර

වරඟනක වෙස් බැඳපු
මිහිරාවී...!
යක් වරම අතට ගත්
ලලනාවී...!
තුන් හිතම පඬු පොවපු
රුචිරාවී..!
තිස්පැයම නෙත් කඳුළු
පුරවාවී...!

ඈත ගිරි හිසක මල්
සොයාලා..!
සීත රිතුවට පින්න
වැටීලා...!
වසන්තය යලි නොඑයි
සිතාලා..!
ගිම්හාන කඳුළු මල්
පිපීලා..!

සඳ රකින තරු රෑන නුඹට කවි කියාවී...!
ගනඳුරට ලංවෙලා රස සිහින මවාවී..!
විඳි මතක මංසලේ වලා තිර
සිඹීවී..!
හද රිදුම් සඟවනා ගැඹුර නුඹ
දනීවී..!

2024.10.28.

කවිය බලන්න
බස් රථයෙ ගමනක්

බස් රථයෙ ගමනක්

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

නැග්ගා බසයට පොල්ල ඩැහැගෙන මල්ල උරෙ රැඳෙමින්,
"යන්න විගහට යන්න පස්සට" ඇසුන රලු හඬකින්
තරුණ ගැටයෙක් මුදල් ගන්නව මෙසේ කෑගසමින්
ගමන යන්නට බසය අදිනව මල්ල බිම වැටැමින්!

සුහුරු ෆෝනය කොට කොටා රස විදින කෙලි සමගින්
යෙහෙලි යහලුවො හිනැහිලා තම අසුනෙ සුව විඳිමින්
මැදිවියේ පසුවන දනන් පත්තරේ දිග හරිමින්
ගමන යන්නේ මහල්ලන් උරහිසේ ඇතිලවමින්!

කුඩා දරුවකු වඩාගෙන යන මවක් ඇහැකොනකින්
දුටුවා තරුණය එහෙත් නෑ තම අසුන පිදුවේ නම්
රථය ඇදෙනව සීනු ඇසෙනව බ්‍රෙක් ගැසු විගසින්
වාරු නැති අය උකුලේ රැදෙනවා කෙඳිර හඬ ඇසෙමින්!

ගමන නිම තැන ලඟයි,ළමයෝ
සීනු මට නොපෙනෙන්
"යන්න විගහට බහිනු හනිකට"
වදන් කන ගැටෙමින්,
පැනුන පාරට මරුව පරදා පපුවෙ
හඬ ඇසෙමින්
ඉදිරි දින පසුවන්නෙ නිවසේ තයිල පිරිමදිමින්!

උදය හවසට පිරිත්, ධර්මය ඇසෙන මේ පෙදෙසේ
නැතිද හද උනුවෙන්නෙ දුබලන් දුටුවොතින් මෙලෙසේ?
මෙරට ඇති පහසුකම් විඳිනට
සැමට ඇත එකසේ,
අයිතියට පිටුපා නොයනු! ඔබ සැමත් වනු මෙලෙසේ !

කවිය බලන්න
වයසක් කියන්නේ පමණකි ඉලක්කමක්....

වයසක් කියන්නේ පමණකි ඉලක්කමක්....

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

හිමිහිට ඇඳෙන මුහුණේ රැළි පිරිමදිමි
එය මට කියන අන්දර මත සැරි සරමි
රසබර මතක කාටත් රහසින් විඳිමි
සුන්දර දවස් කෙතරම් තිබුනිද සිතමි

කළු පැහැ මකා අළුපැහැ මතුවෙනු දකිමි
රළු තැන් දරා හිනැහුණු බව සිහි කරමි
ඔළුවෙන් සිතා සතියෙන් ලෝකය දුටිමි
පහුකල දවස් මත හිඳ ජය පැන් පුරමි

රිදවුම් තැවුම් දුන් කැළැලින් නොම තැවෙමි
සිතුවම් ලෙසට ඇඳි සිත ගත එය දකිමි
පිළියම් රැඳුන හරි මග සොයමින් ගියෙමි
පැසසුම් නැතත් දිවියම සතුටින් විඳිමි

දරු දැරු ගතට හැඩ තල අහිමිව ගොසිනි
රණ හස වුවුද පොළවට පෙම්බැඳ ලෙසිනි
හෙට ලොව දිනන පැටවුන් මැද මව් රැජිණී
වෙමි මම සතුටු මල් හද තුළ නිති පිපුණි

දහසක් මතක මැද අමතක වුනත් යමක්
සහසක් කතා ළඟ සපිරුණු වෙනම රහක්
මොහොතක් වුවද නැත මා ගැන මටම දුකක්
වයසක් කියන්නේ පමණකි ඉලක්කමක්

කවිය බලන්න
අම්මේ මම තරහ නෑ...

අම්මේ මම තරහ නෑ...

මිහිරි චතුරංගි වික්‍රමනායක ප්ලිමත් ,එංගලන්තය

විසල් මේ අහස් මව් පවා නොදැනම
ඇගේ ඇකයෙන් තරු දරුවන් අතහැරේ ඉඳහිට
හුඟක් දුරවිත් පොළවට නුදුරේම
මියෙන මොහොතෙදිත් තවත් පපුවක
පැතුම් එළි දල්වා තබයි කලකට.....

බඩගින්දරට බඩට බත් හුලක් නොලැබ
නාලාගිරි සැමියෙකුගෙන් දිනපතා
නිල් වෙන්න තැලුම් ලබන කළ
ඔබත් නොදැනම මා අතහැරෙන්නට ඇති
පාලමෙන් ගං පතුලට
හරියටම තරු පැටව් අහසින් අතහැරෙන විලසට.....
ඉතින් අම්මේ මං තරහ වෙන්නේ කොහොමද නුඹ එක්ක........

කවිය බලන්න
ගෙදර මතක් වෙන විට

ගෙදර මතක් වෙන විට

මලිති අලහප්පෙරුම

උදේ රෑ වැඩ කරත් සැනසී ඉන්න බැරි බව තේරුණා
කොහේ හරි දුර රටක ගියොතින් හොඳයි කියලා සිහිවුණා
පවුලෙ බර මගේ කරට ගන්නට කොහොම හරි ඕනෑ වුණා
කැමැත්තෙන් ආවා නෙවෙයි මම නොආ ඉන්නට බැරි වුණා

ඇවිත් අවුරුදු දෙකක් දැන් මම නොයෙක් සැප මෙහෙ තියනවා
තියන වීරිය දමා හොඳටම මගේ වැඩ මම කරනවා
ඒක හින්දම වෙන්න ඇති දැන් අතේ සල්ලිත් රැඳෙනවා
අතේ සල්ලියි හිතේ සතුටයි අය වැයක් වගේ දැනෙනවා

ගමේ ගස් යට හෙවණ තිබුණා උණුහුමත් යහමින් පැවතුණා
ගමේ යාළුවො ගොඩක් හිටියා අපි එකා වගේ හිනැහුණා
හුළඟ හීතල අව්ව වැස්සට ඔක්කොටම අපි හුරුවුණා
කැලේ කුඹුරේ මගේ නිදහස හුළං රැළි වගේ පාවුණා

මෙහේ මගෙ පොඩි කාමරේ මම පාඩුවේ ඔහේ ඉන්නවා
යාලුවොත් මහ ගොඩක් නෑ මට විටෙක තනියක් දැනෙනවා
හීතලත් මෙහෙ හරිම අමුතුයි ඔහේ පොරවා ගන්නවා
ඒ වෙලාවට කඳුළු කැටයක උණුහුමත් මට වටිනවා

කවිය බලන්න
රජ ගෙය හැර දමා කොහොමද යන්නෙ අනේ

රජ ගෙය හැර දමා කොහොමද යන්නෙ අනේ

මාක් ඇන්ටනි කුමාරගේ

සොරකම් කරන්නයි බොහො කල් පුරුදු වුණේ
රාජාසනය මත නිදමින් කල් ගෙවුණේ
හැම සැපතක් ම නොමිලේ අප හට ලැබුණේ
රජ ගෙය හැර දමා කොහොමද යන්නෙ අනේ

අපගේ දරුවො අද ලොකු උස් තැන්වලය
නෑයන් සොහොයුරන් පසු කළෙ හොඳ කලය
මිතුරන් හට ද ලැබ දුන්නෙමු නිළ තළය
හිංගල බොදුණුවනි ඇයි මේ කලබලය

චීවර දරණ අපගේ කහ - මිතුරන් ට
සැලකුවෙ අපේ සිංහාසන රැක ගන්ට
ඔවුනව දැක්කුවේ මහ ජන රවටන්ට
ආගම පෙරට දමමින් බලයේ ඉන්ට

තිස් තුන් කෝටියක් දෙවි වරු මර නින්දේ
ඥානා අක්කලා සැඟවීලා බැද්දේ
ඉස්සර ඔවුන් රතු - පටි සුරතේ බැන්දේ
සිරසේ සිටන් පා යුග දක්වා වැන්දේ

බත් කන දෙපා හරකුණි සරණෙ ට එන්න
අප තනි කර දමා වෙනතක නොම යන්න
එනවා හොඳ කලක් ඉවසීමෙන් ඉන්න
සිංහාසනය නැවතත් අරගෙන දෙන්න

17/10/2024

කවිය බලන්න
මිය ගියා මා හදවත බර වෙද්දි

මිය ගියා මා හදවත බර වෙද්දි

මුදිතා ඩයස් කොට්ටාව

අනියම උනත් නුඹ මගේ පණ වෙද්දි
පතිණි වෙමින් ඔහු නමටම කැපවෙද්දි
ලය මත කඩු කිනිසි තුඩු රිද්දද්දි
කදුළැලි නෙත් පුරා හොර රහසින් වගුරද්දි ප්‍රේමයේ දිග පලල හරියටම මැනගද්දි දෙලොවක් අතර මා තනිවෙද්දි
මිය ගියා මා හදවත බර වෙද්දි

කවිය බලන්න
කවියාගේ බිරිඳ

කවියාගේ බිරිඳ

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

එළිසම විරිත එළිවැට රැක සැදුණේය
අරුතැති මහරු හැඟුමන් සිත රැඳුණේය
කවි පද මියුරු එකිනෙක පෙළ ගැසුණේය
සිය පත රුවට පිපි හද විල දිලුණේය

විසිතුරු තරු එළිය සඳ හැර ගිය රෑක
සොඳුරුය ප්‍රේමයේ මැවු සිතුවම් නේක
යුවලකි ඉසුරුමුණි, නෙත ළඟ ඇඳි දාක
ඔහුමය කිවිඳු, ලද කවි ලොව අබිසේක

ලියැවුණි කුරුටු ගී විඳ පෙම් දිය දහර
පබැඳුණි රෑ දිවා මොහොතක් වී නතර
සැඟවුණි ඔහුගෙ නෙත කරදහි පිටු අතර
තනිවුණි ඇය නොදැන කොහි ඇගෙ හද මැදුර

දැවටෙයි ගතෙහි දවසක මෙහෙයක වෙහෙස
උරහිස කොහිද තබනට කකියන සිරස
පෑගෙයි පයට ලියැවුණු පෙම් කවි නොලස
බිරිඳයි ඔබෙ කිවිඳ, තනිවුණු මේ දිගැස

කවිය බලන්න
ලැවැන්ඩර් මල් සුවඳ

ලැවැන්ඩර් මල් සුවඳ

නාලිනී ද සිල්වා

සීත නිම්නය මැදින්
වැටෙන පිනි හිම මතින්
ගිලගත්ත අතුපතර
කුරවි හඬ නෑ තවත්

හිරු නැතිව මා ඇවිත්
මතක සටහන් මැදින්
නුඹ සිටින තැන සොයා
වෙහෙසුන ද හද සොවින්

පොත් අකුරු පෙළගැසුන
හදක හඬ ළඟ මිතුන
පැතුම් කන්දක සිහින
බොඳවෙළා මම තනිව

නුඹ අසුන් ගත් පෙදෙස
ලැවැන්ඩර් මල් සුවඳ
තාම සුවඳයි මටම
සිහින සිතුවිලි මැදම

Photo credit ; Frank Marino
නාස්පුඩු සොයාදුන්
සුවඳ මතකය එක්ක
අතීතය සමරන්න
වරක් ඇවිදින් යන්න

කලුතර

--

කවිය බලන්න
හරිනී

හරිනී

නයෝමි අමරසිංහ

විල්ලුද කසී සලු අබරණ හැර පැමිණී
දහඩිය සුසුම් ළඟ පමණක් හිස නැමිණී
විඳි දුක් සිනාවෙන් ගෙත්තම් කළ නයනී
ගැහැණිය නමට අරුතකි සොයුරිය හරිනී

කවිය බලන්න
ආගමික සහජීවනය

ආගමික සහජීවනය

නිලූකා පතිරණ ඇඹිලිපිටිය

ගලායන රුහිරු බිඳුවක
හමායන සුසුම් අහුරක
වැයෙන්නේ
එකම රිද්මය නම්,

ජාතිය මිනිස් ජාතිය
ආගම හෘද සාක්ෂිය
යදින්නේ
පරම ප්‍රේමය නම්,

පන්සල් මළුවක
කෝවිලක
දෙවොල් පුදබිමක
විකසිතව හමන්නේ
පිරුණු මිනිසත්කම නම්,

ගලා යන්නට අවැසිය
හද දොරින් පිටාරය
ස්නේහයේ මංගල දියවර
බලා සැනසෙන්නට දිනයක
සහජීවනයේ මුවදොර

ඇඹිලිපිටිය

කවිය බලන්න
කවිය

කවිය

නයෝමි අමරසිංහ

පුරවර ගලන සරතැස
නිවා ගල්වා අංජන
දොර දොර ඇසෙන පිරිතක
පවා ස්වරයට පේවෙන
මුනිවර හඬින පුරපස
කලා සොළොසම පුරවන
බණවර දෙසන මොහොතක
වහා කුටියට පිවිසිණ..

ගැට පද ලිහා එක එක
විටෙකදි අසා දැන මග
පිරිසිඳ උගෙන බස සොඳ
කවිපද වලින් පිරිමැද
පැහැනද මලින් හැඩ කළ
මල් කම් දමා අපමණ
මිහිරිද ලොවේ කොපමණ
කවියෙකු මැවූ අවසන..

කවිය බලන්න
පන්සිළු වැනුම

පන්සිළු වැනුම

නයනශාන්ති දිසානායක

පන්සිළු විසින් බුදු රජානන් වහන්සේ හමුවී තම ප්‍රියම්බිකාව පිළිබද කරන ලද වර්ණනාව

( සක්කපඤ්හ සූත්‍රය ඇසුරෙනි)

බුදු හිමියනේ ඔබ වෙත බැතියෙන් එළැඹි

දෙව් ලොව ගදඹ පන්සිළු මා වේ සුහැදි

බේළුවපාණ්ඩ වීණා නද කර මිහිරි

මා ප්‍රිය 'භද්‍රා' ව වනනුය සන්තොසිනි

ලහිරු රැසේ කාන්තියෙන් ගත දිලෙනා

මනා රූ සිරෙන් අඟ තැන්පත් සොබනා

ම'හද මැඳුරු නිතියෙන් කල එලි කරනා

ඈ පිය සමිද වඳිනෙමි බැතියෙන් උතුරා

ගිලනුන් වේද ඔසුවෙන් සුවයක් ලබනා

සා ගිනි නිවනු ලෙද මසවුළු රස උතුරා

ගින්නක් නිවනු දිය මිස වෙද අන් කෙවෙතා

සොඳුරිය ඔබ වේය මා හද මන පිනනා

ගිමනෙන් දැවී පවසේ ගිළුණ තුමුළ ගජ

පියුම් විලක කිමිද සිඳ ද ගත වෙහෙස

මනස් දොලෙන් සා පවසෙන් පෙලෙම් මම

කිනම් කලක විද ගමි හස පහස් රස

සොඳුර මා වෙළෙනු මැන මදහාස බැල්මෙන්

සොඳුර මා උණුහුමෙන් වෙළණු මැන ආලෙන්

කල්‍යාණියේ මා ඔබ වෙතම බැදෙමින්

පුන් ඌරු යුගල් මත සැනහෙමි නිතියෙන්

මින් දද මුලාවේ ගිලගත් ලෙසින් බිල

මුදනු නොහැකි ලෙද සිහි ඇති කිසි කලෙක

සුපෙම් හස වරින් බැදි මා හද මනස් හුය

දිවිය සිද ම මිස හැර යා යනු නොවෙත

උතුම් රහත් උතුමන් වෙත හර සරිනි

පිදූ සුලක් වූ දන මහ පල දෙවති

අක්බඹරින්දු මා සොඳුරේ මන නදිනි

මා ද මහත් වී බැදෙනිමි නුරාවෙනි

සියළු තැනින් රස නන්වා මන කැළබූ

ම'සඳවතිය නේ හැඟුමන් කුළු ගැන්වූ

ම'සිත් දොවා මහ රහතුන් අභිසෙස් වූ

මෙලොව ම'කල පින් අප වෙනුවෙන් සැදවූ

රුසිරු පංච කලණිය නේ මා දෙව් ලි

උතුම් බුදුන් මරු පරදා විජය ලදී

එසා ප්‍ර්‍රීති හැඟුමන් උතුමන් ලදිනී

ම'හද සතුට ඔබ මැ නිසා එලෙස වුණී

මදෙව් රජුන් සක් උතුමන් විපුල බල

දෙනම් මෙමට වර උව පුර රජ වෙනුව

සොඳුර ඔබ ම හැර මට වෙද අන් සැපත

පතමි යදිමි ඔබ ව දුර හැර පවස

රූ ණැන ගුණෙන් දිසි මාගේ ප්‍රිය ලන්ඳු

කල් වරා දැරූ සල් සේ මන නන්ඳූ

ලදින් දුවක ඔබ වන් රුසිරෙන් මහරූ

වදිම් වදිම් 'තිම්බරු' දෙව් රජ පා දූ

කවිය බලන්න
හෙටත් පෙරමුණ ගනිමි

හෙටත් පෙරමුණ ගනිමි

නදී ශානිකා මහනුවර

දැවෙන ඇවිලෙන දුවන
සිත තුරග
වේගෙන්
මැවෙන බොදවෙන දහස්
නේක රෑ
රාගෙන්
පිපෙන පරවෙන විලස
දිවිය නෙක
වේසෙන්
නිවෙනු මිස ඇවිලීම
අවැසි නැත
නුවණින්....

කිරණ මත රන්දාන
ජිවයක
සවි ගුණ
දෙරණ මත අතුරාන
හිරු එළිය
දිළිසෙන
නැගෙන ගිරි හිස මතින්
ලෝ අදුර
දුරලන
පොරණ ලක දිනු පුතුන්
ලෙස වදිමි
බැතියෙන....

සසර හුරු ගති ඇතිව
හෙළයනට
ප්‍රේමෙන්
නොතිර බව දැන හැදින
යනෙන තුරු
මෙලොවින්
අදිටනින් රට රකිමි
ලෝ සතට
කුළුණින්
හෙටත් පෙරමුණ ගනිමි
මව් බිමට
ස්නේහෙන්..

Photo credit;Danilo Ćalić

කවිය බලන්න
අහම්බය

අහම්බය

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

ඉදින් ඔහු
කොහේද ?
හොඳින් ද?
දුකින් ද ?
එතැනම ද?
සිතින් සිතුවෙමි
මගෙන් ඇසුවෙමි

අහම්බයෙන් දිනක
දුටුවෙමි
මුහුණු පොතේ පිටු
අතර
සුපුරුදු රුවක්
අතැති ව පුංචි මැණිකක්
තම බිරිඳ සමඟින

හ්ම්...
කලක දී හිමිකමක්
සොයන්නට
වෙර දැරූ අපි
අද...
අපට අහිමි ව
දෙතැනක ය
තව දෙදෙනෙකුට
හිමිව

ඉදින්...මා සිත
නිදහස් ය රිදුම් ගොන්නකින්

-----------------------------

2024/10/08
ආලංකුඩාව

Photo Credit; Victoria Roman

කවිය බලන්න
අරවින්දයක්

අරවින්දයක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

පාපැදියකින් සරසවිය වෙත පදින
මහැදුරු තුමෙක් නෙත ගැටෙන
කෙටි තාප්පෙකට වී හිටිය
'සහෝදරයින්' තිදෙන බිමට බැස
පාර පැන එදෙසට පිය නගති

ඉගිල ආ ගුරුළු රියක් යන මග
හරස් කළැයි චෝදනා නගන
මානව රොබෝවර වරයෙක් විසින්
අහකට තල්ලු කර දැමූ ඇදුරිඳු
වැසි කාණුවක් මත ඇද වැටේ

එයින් විසි වසරක් ඇවෑමෙන්
ජනතා ස්වයංවර තරඟෙන් පැරදී
පසු විපරමක නියැළෙනු පිණිස
ගත සිත නැගෙන විඩා නොතකමින්
ඔවුන් ඒ රැයේම හමු වෙති

නෙක හැල හැප්පීම් මැද අත නෑර
මෙතෙක් ආ දුෂ්කර ගමන අවසන
ඒකාන්තයෙන් අරවින්දයක් මෙන්
ජයග්‍රහණය ලබන බව පවසන විට
අදිටන පිරි දෑස් තාරකා මෙන් දිලේ

(සමාජ මාධ්‍ය පුවත් ඇසුරින්)

17.10.2024

කවිය බලන්න
ඔබ සහ හවස් වරු

ඔබ සහ හවස් වරු

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

නිල් පාට ගවුමක්... සුදු පාට කමිසයක්... හුළඟට ගසාගෙන යන සුදු මිශ්‍ර නිල් පාට මෆ්ලරයක්... එක පැත්තකින් සීමාවක් මායිමක් නැති මුහුදක්... පෙනෙන නොපෙනෙන ගානට විසිරිලා තිබුණු දම්පාට එළියක්... රොබින්හුඩ් ගම්මානයෙන් අතුරුදන් වූ සෝල්ට් ඇන්ඩ් පෙපර් රැවුල්කාරයෙකුගෙ ඇස් දෙකක්... සැලසුම් කරලා කිසි දෙයක් නොකළට, අපිට තිබුණෙ ගැලපෙන හිත් දෙකක්... ඔව්.. ඇත්තටම ඒක මම දැක්ක ලස්සන හීනයක්...

නොමල ගෙයකින් දිනෙක අබ මිටක් සොයාගෙන
යන්න හැකිනම් මෙමට මග ඔබෙන්
අසාගෙන
පණ තිබෙන මියැදිච්ච කෙනෙක් දෙස
බලාගෙන
හැකිවේවි පෙන්වන්න මම ඇයයි
සිතාගෙන

පැතුම් යනු ඇති වෙලා නැතිවෙනා දේකටය
රළ නැගෙන රළ බිඳෙන විසල් වූ සයුරටය
ආදරය කියන්නේ නිසොල්මන් වෙරළටය
මේ කවිය ලියැවෙන්න ඇත්තෙ මට නිකමටය

බුදුන්ගේ දහමකට මොහොතකට කන් දෙන්න
දැන් හැකිය බයිබලේ පාඨ ටික කියවන්න
උන්නු දා මතකයෙන් හවස් වරු පොඟවන්න
ඔබ තවත් මගෙන් දුර ඈතකට පියඹන්න

කවිය බලන්න
තවත් සවි දෙමු තිබෙන රජයට

තවත් සවි දෙමු තිබෙන රජයට

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

අසා ඇත මා වටින කරුණක් තිබුණු අප රට ගැන වටේ
එනම් පෙර මෙය නම් කළාලුය ලෙසින් පෙර දිග මුතු ඇටේ
එහෙත් එතරම් වටින අයුරක් කිසි දිනක මා නැත දුටේ
වැටී තිබුණා වටිනකම් සැම දේසපාලුන්ගේ කටේ

දවස් තුන්සිය හැටපහම ගස් වැල්ද පල දරනා රටේ
වැසි වළාහක දෙවිඳු නිසි කල වැසිත් ලබලා දෙන විටේ
පලක් නොගෙනම එයින් නිසි ලෙස රටින් එනතුරු බත් ඇටේ
මුව අයාගෙන සිටින නිකමුන් බිහි කළා උන් මේ රටේ

ගෙවී ගිය ඒ දශක හත තුළ
රට උලා කෑ ප්‍රේතයන්
ගැන තවත් සිහිකර වැඩක් නැත ඇත උන්ට යම ලෝකයන්
අලුත් එළියක් වැටී ඇත අද පැමිණි ලෙස සුරදූතයන්
ඉතින් හෙට දින සියලු වැසියන් වේවි තිර ලෙස නාතයන්

කිසිවෙකුට අත නොපා
සිටගෙන සිටින්නට සාඩම්බරෙන්
දමා පන්නා සොරුන් ජඩයන් එතෙරටම මහ සාගරෙන්
උදාවන දහහතරවන දින බලේ පෙන්නා කතිරයෙන්
සිටින රජයට තවත් සවි දෙමු මෝඩකම් හැරදා සිතෙන්.

කවිය බලන්න
පැවරුම...දියණියට.......

පැවරුම...දියණියට.......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

වියපත් වී ඇත අප දිනු ලෝකය
කෙලෙසට නිම කරනුද ආ කාරිය
සුපුන් සඳක් සේ පාලා වීරිය
දියණිය ඔබ හට පවරමි ලෝකය.

වැටි වැටි දණ ගාමින් නැඟි ලෝකේ
තරුවක් වී මා පිය සිතු පහසේ
හිරු මඬලක් සේ නැඟ ආකා⁣සේ
සැනසෙනු මැන දුක නිම රෝ මනසේ.

දුක් විඳිනා දන සිටනා කොතැනේ
ඉන් මුදවා ගත යුතු වේ විගසේ
සිත් ඔබෙ තැලුනත් නොසිතා එලෙසේ
සත් වග වෙත මෙත පතුරනු එකසේ.

ලැබ ගන්නට ඔබෙ සොඳුරු චේතනා
දුර ලිය යුතුවේ දනගෙ වේදනා
සැමදා සුව දෙන සිහින කල්පනා
දිවියම සරසයි ඔබට වාසනා.

දෙනෙතින් අයදින විට රෝ දන සුව
ඔබ මයි දිය යුතු දියණිය සෙත සුව
නොලැබෙනු ඇත ඔබ හට කිසි විට පව
සත් වග හසරැල් ගෙන දෙයි සිත් සුව.

කවිය බලන්න
සිහින..

සිහින..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

අහසෙ ගොඩබිමක හෝ
මුහුද මැද විඳින
ජීවිතය එයයි
කාලය සමග ගෙවෙන
පාලුවෙන් තනිකමෙන්
දුර ඈත බලන
හිතට තනි තරුවකුත්
ඇති ගිමන නිවන..

පාවෙනා වලාවකට
දුක කියලා
සුළඟටත් කොඳුරමින්
සැනසුමක් යැදලා
සිරිපොදක හංගලා
කඳුලු දිය කරලා
සිනාසී ඉන්නවා
සෙනෙහසම පුදලා..

තලන්නට තලන්නට
සුවඳ විහිදුවන
සඳුන් දණ්ඩක් වගේ
ඉන්නටයි ඕන
මැරෙන්නට මොහොතකට පෙර
ආදරෙන් පිරුන
හිතක් හිස් කරනවද
පැනයකිය හිතන..

ලබැඳි සිතකට නැගෙන
ප්‍රේමයක තරම
දරාගන්නට හැකිද
ජීවයක අරුම
පලා පැහැ නිම්නයක
සුවද දී පිපෙන
රතුම මල් පොකුරු ලඟ
සැබෑ වෙයි සිහින!!

කවිය බලන්න
අහසින් පොලවට

අහසින් පොලවට

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

පෙරුම් පුරාගෙන
ආ සංසාරේ
මිතුරන් ගිය මග
ඉගිලී යන්නට
සත්කුළු පව් සිට
අහසින් පොලවට
විදුලි වේගයෙන්
සපැමිණි කුමරිය
මිහිකත සිපගෙන
බිම විසිරෙනවිට
නැගුණි විලිරුදා
දසමස් කුසයෙහි
දැගලූ දගයා
සම මස් ලේ බිදු
එක්කර තැනවූ
නැලවූ දරුපෙම
නැතිවිය සදහට.

Photo credit :Alexander Andrews

කවිය බලන්න
පෙරළියක ඉමි නුදුර  ......

පෙරළියක ඉමි නුදුර ......

රංජනී කොස්තා නවසීලන්තය

එකිනෙකද පරයමින
නැගෙන සිතිවිලි රෑන
කරුණ කිමදැයි හැඳින
ගන්න වෙහෙසෙමි නිතින

දුකක අඳුරු සේම
මවයි විටෙක දේම
සොඳුරු සිහින පෑම
හදක සතුට වීම

එකමගක සිත දකින
නිතිදිනම සුව පිරුණ
මන තුටුව දිවිගෙවන
සිත් ඇතිද ලොව මෙදින

සවි ඇතිව තැබුණ පය
බැඳුන ජය නියතමය
සතුට පිරි මුහුනුමය
දිනුමඟක සළකුණුය

සුබපැතුම් ගලාඑන
පිරුණු මුව හිනාදෙන
සුව මනස පිරීයන
සවියවිය නිතිම දින

කලින්කල මුහුණුවර
වෙනස්වී යන විසිර
මිනිස් සිත්වේ කවර
පෙරළියක ඉමි නුදුර

Photo credit:Denys Nevozhai

කවිය බලන්න
අත්තම්මගේ අන්දර මල්ල

අත්තම්මගේ අන්දර මල්ල

සුනීශා සෂී සමරවීර

රෑ බෝ වීලා කලුවර වැටුනා
අම්මා කැව් බත් වල රස දැණුනා
මිහිරට තාලෙට කවි පද ඇසුනා
අත්තම්මා ලඟ හරි බරි ගැසුනා

කවි පද කවුරුත් තාලෙට කිව්වා
කතන්දරයකුත් කියමුද ඇහුවා
කාගෙත් මුහුනේ සිනහව පෙනුනා
කවුරුත් තව තව එක් රොක් ගැහුනා

කතන්දරේ ටික ටික දිග හැරුනා
කතාව මුතු කුමරියගෙ කියවුනා
කඳුලු සලා මුතු කුමාරි හැඩුවා
කඳුලු නොවේ මුතු කැට බිම හැලුනා

කතා මල්ල හැම රැයකම ඇරුනා
මහදැන මුත්තගේ තොරතුරු ඇසුනා
ගෝලයෝ පහ ගැන නිතර කියවුනා
තව තව කියමුකො ඇවටිලි කෙරුනා

නරියයි හාවයි ඉබ්බයි කුකුළයි
ගමරාළයි ගම මහගෙයි බල්ලයි
අත්තම්මයි ඇගේ අන්දර මල්ලයි
හීනෙන් සිත තුල තවමත් ඉල්ලයි.

පුංචි අපට කවි සින්දු

....................

කවිය බලන්න
කවියෙකුට පුළුවන් ය ඒ හිතට පණ දෙන්න .........

කවියෙකුට පුළුවන් ය ඒ හිතට පණ දෙන්න .........

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

සිතෙත් තෙත් බව ⁣නිරත රැන්දූ
ළතෙත් කරුණා පහන් දැල්වූ
මතෙත් රස මීවිතක මත්වූ
නෙතෙත් කවි ලියනවා බින්දූ

අළු පාට ලෝක තුළ
පාට තවරාලන්න
කෑදරේ පිරි සිතට
ආදරේ වස්සන්න
සාගරේ වගෙ හැඩට
තුටු සිනා පුබුදන්න
කවියෙකුට පුළුවන් ද
එක හිතක් මරවන්න

විරහ ගී පන්හිඳ'ග
කඳුළු මුතු පබඳින්න
අතැර ගිය කුසුම වුව
සදාකල් බැබලෙන්න
දරාගෙන විඩාබර
වේදනා ගිනි කන්ද
කවියෙකුට පුළුවන් ද
එක හිතක් මරවන්න

සතුට සාමය පිරුණු
හඬ ඇහෙන ලෝකයක
පෙමින් මත්වී නිබඳ
ආදරෙන් ළං වෙන්න
වියරු ගිනි දැල් නිවුණු
සීත තණ නිල්ල මත
කවියෙකුට පුළුවන් ය
ඒ හිතට පණ දෙන්න

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

Photo credit; Michael McAuliffe

කවිය බලන්න
කවියක් වෙමී

කවියක් වෙමී

ශර්මිලා බන්දුනි දන්වත්ත

රෑ පුරා නිදි වරා
ලියූ කවිය
නුඹ අතට පත් නොකර
තව වරක් කියවා
පිටු අතර සඟවමී

ගුත්තිලය
සැළලිහිණිය
ගයා පහදා දෙන විට
ඒ රසයෙන් මත්වී
නුඹේ සිත කියවමී
ලෙන් දොර බිඳුණු තැන
රිදුණු සිහ රජුණි නුඹ
හදවතින් වැළඳගෙන සනසමී

මා ලියූ කවි
කවි නොවන බව
ඉතිං මම හඳුනමී
කිවිඳියක් නොවී
නුඹෙ නෙතට
සදා කවියක් වෙමී

කවිය බලන්න
එදා - මෙදා

එදා - මෙදා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අනෝරා වැසි වසින සැදෑවක
අතේ තිබු මුත් කුඩ දෙකක්
එක කුඩේ යට ගෑවි නොගෑවී
මතකද අපි දෙන්නා
ගුරු පාර දිගේ සඳ පානේ
පියමන් කෙරුවා තුරු සෙවනේ

තෙමෙයි කියා නුඹ බයවීලා
අතින් තව තව තුරුළු කරගෙන
ඇවිද ගියෙ ආදරේ හින්දයි
වැසි පොදක් හෝ ඔබට වරදක්
කරයි කියලා සිතු නිසා

ගවුම දෑතින් එකට ගුලිකර
රැදුනු දිය බිදු හලා හල ඔබ
පෙනන නොපෙනෙන දුරින් ගෙපැලට
ඉදිවි පොල් අතු පුංචි කඩයට
ගොඩ වැදී එක කෝප්පෙන්
බිවූ උණු කළු කෝපි උගුරෙන්
ශේෂ වූ මිදි අඩියෙ කුඩු ටික
වගේ ව්ණි අද ජීවිතේ

දීග තල ගිය පසු ටිකෙන් ටික
අපි දුරස්වුණෙ කිමැ නොදන්නෙමි
මහා වැසි වැටෙනා දවස්වල
එක කුඩෙන් ඔබ තනිව පියමැන
හාල් තුනපහ රැගෙන එන්නට
කුසේ ගිනි කද නිවාලන්නට
හතර දෙනෙකුගේ අතු පැලේ

එදා නෙත් ඉම පෙනන මානේ
පුංචි කඩයට ගොඩවෙලා
බීව උණුසුම් කෝපි උගුරෙන්
අඩියෙ ශේෂවු කුඩු වගේ
තනිව අද දෙතැනක ගමේ
කිමැයි නොදනිමි කුමරියේ

එදා වාගෙම අදත් මහ වැසි
වහිනවා නොවැ ඉද හිටත්
පුංචි කඩයේ කෝපි බදුනේ
ඉතිරි කැට කුඩු එසේමයි
ඒත් අද අපි වෙන්වෙලා

10/10/2024
0711481624

කවිය බලන්න
මුල් ළමාවිය සංවර්ධනයට

මුල් ළමාවිය සංවර්ධනයට

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

කිරෙන් ඇරුණු දා ඉඳලා
පොතපතටම ළං කරලා
නවීන පන්නෙට හුරු කර
ළමාවියට වැට බැඳලා

ටියුෂන් නම් වරදින්නෑ
ටෙනිස් නොගහා හරියන්නෑ
දවස පුරා මැසිවිලි නම්
කවදාවත් නවතින්නෑ

සිංහල විතරක් නම් බෑ
ඉංග්‍රීසිත් නැතුවම බෑ
ලොක්කෙක් වෙන්නේ නැතිනම්
රටට මූණ දෙන්නත් බෑ

එහා ගෙදර යාළුවො ඇත
සෙල්ලම් බඩු ගොඩකුත් ඇත
ඒ උනාට කෙළි සෙල්ලම්
බෑ දොරගුළු තදකර ඇත

ඉර පායනවා බලන්න
මල් පූදිනවා බලන්න
සමනලයව බට්ටිච්චව
ටිකක් ළඟට වී බලන්න

සුළං රැළට තාල දෙන්න
සරුංගලය අතට දෙන්න
මතු බුදුවෙන මව්වරුනේ
හුස්ම ගන්න ඉඩක් දෙන්න

කවිය බලන්න
වංක

වංක

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

නිදිකුම්බා
සිනාසුණත්
රෝස පාටට
දෙපා පිළිගන්නේ
විස කටුවෙන්
රුදුරු වෙසකට...

කවිය බලන්න
හබරල පතක නොරැදෙයි වැසි බිදක පෙම

හබරල පතක නොරැදෙයි වැසි බිදක පෙම

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

හබරල කොලය මඟ හමුවී පෙම් බැන්ද
අත්හල අහස වැසි බිද නුඹ සතුටින්ද
හිස් කළ මුව අයා නොම දුටුවේ මන්ද
මත්කල පහස සියුමැලි ගත රිදවද්ද

ගිලිහී වැටේ සිය දහසක් වැසි බිංදු
සැනහී එක් බිදක් හබරල කොල රැංදූ
වැටහී නැති පතට පල නැතිවද බන්දු
ගිලිහි වැටේදෝ අතටම ආ පංදු

පවසට නොලැබෙනා දිය බිද තව කුමට
කුකුසට කරුණු ඇතිමුත් සිත් තුල එමට
හෙමිහිට ලෙලවමින් රැඟුවත් යස හැඩට
කිසිවිට නොම පෙනේ අඳ හබරල නෙතට

ආල හැගුම් ඇතිමුත් වැසි දිය බිදට
කෝල මුදු රැඟුම් ලැබුනේ පෙර පවට
ගාල හොලවලා හබරල එක දිගට
කෝල වැසි බිදුව අතහැරියා බිමට

හබරල පතට නොව පොලවට පෙම් බැන්ද
අත්හල අහස වැසි බිදු නොමවූ අන්ඳ
අකුසල කුසල බණ පොත්වල කොල සින්ද
මිහිතල තෙමා මහ ගඟුලැක් වුනි මන්ද

පමාවෙලා පොලවට වට වැසි බිදුව
කමා කරන්නැයි වැලපෙයි ගඟ දුටුව
දමා පසෙක මතකය හබරල හඩුව
අමා පෙම ගලයි ගඟ දිය හා මුසුව

London

කවිය බලන්න
එකම පංතියේ එදා

එකම පංතියේ එදා

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

සිටවූ එක ලඟ
වැඩුනු පොඩි පැල
ගියා ඉහළට
ඇදී තරඟෙට

වැඩෙන රුක් කඳ
එකිනෙකාගේ
උඩට නැගි අතු
නොදිටි කිසිවිට

වසර ගණනක්
ඇවෑමෙන් රුක්
අරටු මුල් බැස
සවිව පොළොවට

කතා කරවයි
හමන මදනල
ඉහළ අතු ඉති
එකිනෙකා හට

සිප් උගෙන පාසල් වියේ
එකට සිටියේ පංතියේ
කොතැන සිටියත් ලෝකයේ
මතක ගඟ සිඳිලා නොයේ

කවිය බලන්න
රාග සහ දයා

රාග සහ දයා

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

අරුණක
එළිය දී
හැර ගියත්
හිරු
විල් දිය
පිළිගනියි
මැළැවුණු
තඹුරු පෙති
සඳයමක...

Photo by Macro_Mama from Freerange Stock

කවිය බලන්න
ඔබ සහ මා

ඔබ සහ මා

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

මා දහවල ය,
රාත්‍රිය ලුහුබඳින,
ඔබ රාත්‍රිය ය,
දහවල ලුහුබඳින..

කවිය බලන්න
සීමා

සීමා

සම්මානී මිහින්තලා ගාළු පුරවරයෙන්

අන්ලිමිටට් කියයි රවටයි මුලු රටම
වෙසෙයි වංචාව පතුරා හැම තැනම
දහඩිය කදුළු මිරිකා මහ වැරෙන් හැම
ජාලය පින් බිමින් පිටමන් කරමු නිම

සාධාරන ලොවක් වෙත අප පා තබමු
නොපසු බට ලෙසින් උත්සාහය තබමු
සන්සුන් බව පෙරටු කොට ඉදිරිය දකිමු
පන්සිල් සපිරි සසුනක් ලෙස මෙත් වඩමු

කවිය බලන්න
නියඟලා

නියඟලා

නීතීඥ සුනේත්‍රා යූ ආර් වනිගසේකර වත්තල

වෙලී මා ගෙමිදුලේ
මී අඹ ගසේ
අරුමැසි සිනා නංවන
පියකරු නියඟලා
මල

සඟවා දුදන ගති
ඔපලා සුදන ගති
මෙලෙස මනකල්
වුනේ කෙලෙසද?

කවිය බලන්න
බැටලු රෑන් එලියට විත් සීතල බව කියනවා

බැටලු රෑන් එලියට විත් සීතල බව කියනවා

සුධර්මා වීරක්කොඩි

බැටලු රෑන් එලියට විත් සීතල බව කියනවා
මල් පිපිලා ඈත අහසෙ සුවද ටිකක් දැනෙනවා
කොල,දලු කොල පාට නැතත් සොදුරු පාට පෙනෙනවා
ගිම්හානය නැවුම් වැස්ස සිරිපොද පළ ඉහෙනවා!

මල් වෙනුවට වට්ටක්කා වැල් වල ගෙඩි පිරෙනවා
පාට පිරුණු කොළ සුන්දර කතා මවා හැලෙනවා
හිම මිදෙන්න කලින් අදුර එන බව හිරු කියනවා
හදවත් උණුහුම හොයන්න කෝපි සුවද ගෙනෙනවා

පමාවුනත් ටිකකට හරි හිරු හෝරා තියනවා
කූරු වෙන්න කලින් ශාක සුන්දර බව දැනෙනවා
දුම් කවුලුව නිදා උන්න චිමිනි වලින් ගලනවා
සීතට පෙර සැබෑව ගැන
හිත වපුරා හැදෙනවා!

Photo Credit; Tanner Yould

කවිය බලන්න
Birds of a feather

Birds of a feather

සිනෙල්යා ෆෙර්නාන්ඩො New Ash Green Primary School. Year 4

Birds feathers stick together
Like that we should stick together
When birds feathers separate
We separate
You can't change the weather
It might not be forever
But it is even better
If it's better together
It's true

New ash green primary school
Year 6

කවිය බලන්න
කාලය සමඟ  ආලය

කාලය සමඟ ආලය

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

දහසක් විදුලි බුබුලෙන් එළිවුණ මගක
යුවලක් ඇවිද යනවා පෙනුණා දොහක
මොහොතක් හැරී බැලුකොට සුපුරුදු ළඳක
මතකක් තියේ තාමත් ඇය මුව මලක

ඈ උර මඬල මත හිස තියනා මොහොතේ
ඒ බර ඈත් කර ඇස් ෆෝනය මත්තේ
ඕ සිය දෑත පියබඳ වට කර ඇත්තේ
ඌ අත් ගසා දා අඳුරක ඉඳ ගත්තේ

මේසය මතම රඳවා හිස ඈත බලා
ඈ සිය අවට බොඳ කෙරුවා කඳුළු සලා
ආලය මෙහෙම නපුරුද ඇයි වෙනස් වෙලා
නාසය අතින් පිසිමින් ඇය මෙනෙහි කළා

කවිය බලන්න
බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න

බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

සුදු බැමි වටේටම ඇත පිරම්ඩ් උසට
මවලා ශ්‍රී විභූතිය එහි කැටයමට
විල්පත්තුවේ සාරය ගෙන දැව වලට
වයිට් හවුස් ලෙස දිස්වෙයි පාරකට

කොමිස් දුගඳ හමනා පිළි ගඳ මුසුව
ඇසෙනා අඳෝනා උන් බලයට මැරුව
මන්දිර තුළින් පිටතට යා දෙනු බැරුව
පරඬැල සේ තබා ඇත එහි මුරකරුව

පාරට එබී රවනා සීසී ටීවී
ඕනෑ වුණොත් දවසක නඩුවට ඒවී
නීතිය නවා සිර කර පත්තිනි දේවී
ගණිකාවක් වසයි සිරියෙන් කන්‍යාවී

කෑමට යමක් තිබුණිද බලනට ඉල්ලා
පුවරුව මහා දැක එහි ඇති එල්ලා
බැම්මට ඇවිත් සුළුදිය පහරක් අල්ලා
සිනහව තද කරන් ගියෙ අසරණ බල්ලා

කවිය බලන්න
අවුකන විලාපය

අවුකන විලාපය

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

නොමදා ශිල්ප දුන් ගුරුදෙවි සිත් රිදවා
පරදා ලනු රිසින් ඔහු තරඟෙට කැඳවා
රජිඳා වෙතින් බුහුමන් ලැබුවලු සොඳවා
පෙරදා බරණ නම් අවුකන ගල් වඩුවා

අවකන් දේශයෙන් සපැමිණි ඇදුරු වෙතින්
ලබමින් සෙල් පිළිම නෙළනා ශිල්ප සොඳින්
දැනුමින් සපිරි දා නරනිඳු වෙතට ගොසින්
සමතැන් ඉල්ලුවලු සිය ඇදුරිඳු ට හොරෙන්

දැකලා ගුරු-ගෝල දස්කම් සිය දෙනෙතින්
ලබලා දෙනු රිසින් දෙදෙනාහට සමතැන්
බෙදලා දෙමින් මහ ගල්පර දෙක දෙතැනින්
නෙළලා පෙන්වන්න කීවලු ‘බුදු සමිඳුන්’

බරණට ලැබුණි අවුකන ගල් පරය සොඳ
ගුරුහට දෙවා රැස් වෙහෙරේ ශිලා බඳ
දිනුමට තරගයෙන් පිළිමල් එඩිය බිඳ
කරනට නිමා අවැසිය පළමුව සබඳ

නැගගෙන පලංචිය කටුමිටි අතේ දරා
විඳගෙන රිදුම් ‘නැහුනත්’ වියපත් ඇදුරා
අවුකන ගලේ නිමවා බුදුරුව සපුරා
ජයගෙන බරණ ඔල්වරසන් දුනි පතුරා

නිමවනු නොහී බුදුරුව රැස්වෙහෙර ගලේ
දිවිදෙනු රිසින් ඇදුරිඳු පැන්නාලු හෙලේ
දැකගනු හැකිය තවමත් ඒ ශිලා තලේ
මියැදුණු ඇදුරිඳුගෙ නිමනැති පිළිමෙ මලේ

කවිය බලන්න
මහා රුක්

මහා රුක්

තුෂාරි ජයසිංහ මහනුවර

පේ වෙලා මනාවට
අහස් කුස සිප ගන්න
වලා කුළ හඬද්දී
වැහි කඳුලෙ නැහැවෙන්න
පත් අඟින් ඒ කඳුල
පොළෝ ගැබ සඟවන්න
තරු පිනිති දස අතේ
විසුරුවා හිනැහෙන්න

ළදැල්ලට බර වැඩීයි
පිනි බිඳක් උහුලන්න
ඒ නිසයි ඉරි ඉරී
වැටුනෙ බිම හැමදාම
වියලි පත් ඉගිළුනේ
බොර පාට දිය මතට
කිමද ප්‍රිය ඔය හැටිම
ඔහේ පාවී යන්න

ගම්බීර ලෙස උසින්
සියලු දුක් දරාගෙන
වැජඹෙමින් පල දරණ
අතු රිකිලි වඩාගෙන
ගසේ අක් මුල් රැක්කෙ
මහ කඳක් තෙමීගෙන
මහා රුක් හිනැහුණේ
හිතේ දුක් හංගාන

2024.09.30.

Photo credit Dan Meyers

කවිය බලන්න
කාලයට ඇරයුමක්

කාලයට ඇරයුමක්

වෛද්‍ය උදේශිකා පතිරණ

හීනියට ඇස් අගින් දෙන ඉනා විඳගන්න
සීරුවට කොපුල මත මුදු හාදු තවරන්න
තාලයට ළෙලෙන මොළකැටි රැඟුම් දැකගන්න
කාලයට පුළුවනිද දැන් ඉතින් නවතින්න

තණ පළස මත හවස ඔට්ටුවට දුවයන්න
බුදු පුදට මල් නෙළන පින් සිතින් සැනසෙන්න
වෙල ගාව ඇලේ දණ්ඩින්ගෙ කුස් පුරවන්න
කාලය නුඹට බැරිද අපෙ ලොවේ නවතින්න

සුරඟනා කතාවක හැම රෑම ඇවිදින්න
නිදි මන්තරේ කියන සුරඟනන් දැකගන්න
වළාකුළු පඩිපෙලේ සිහිනයෙන් නැගයන්න
මේ හොඳම කාලයයි අපෙ ලොවේ නවතින්න

කවිය බලන්න
කෙසේ යම්ද?

කෙසේ යම්ද?

විමාලි තිලකරත්න

දැනේ තනිකම
හුදකලා වූ මා හට...
දැනේ සිසිලස
ඇසේ පවනෙහි රැදි
සැර පරුෂ බව....
ඇත්තේ මතකය
පමණි මා ළඟ
තනි රැකීමට....
සොවින් තැවෙමින්
ලතැවි සිත ළඟ
යැවේ මතකය
අතීතය වෙත....
නිවස, මාපිය
හිත මිතුරු තෙම....
මැවෙයි මා
සිත් මඩල තුළ....
කෙසේ යමුද?
අවනතයි මා
සොබාදහමට...
විඩා නිවමි වසර ගණනක
දෙනෙත් පියා
සදහටම....
මගේ සොහොන් ගැබ තුළ...

කවිය බලන්න
🗙