ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2021 මැයි කලාපය
තුන්වන මහලෙ පස්වන රූපය ඇඳුන
සිදුහත් කුමරු ගිහිගෙය හැර යන ගමන
තණ්හා රති රඟා සුදු කෙල්ලන් රඟන
තේම්ස් නදී තොටළඟ නැහැ නොවැ තොරණ
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
මෙවර කලාපයේ ප්‍රධාන සිතුවම හා තවත් අපූරු සිතුවම් මගින් දායකත්වය ලබාදුන් එස්.එල්.සෙනෙහෙධීර විශිෂ්ටයාණන් හට අපගේ හද පිරි ප්‍රණාමය පිරි නමමු.
හිටවන කවි මිහිර – අනුර හෑගොඩ
කතරගමට ගිය දා එතන වාඩියේ
නිතර දෙමළු ඇවිදිති සතර වීදියේ
සතර වැටට මුතු අමුණාපු හවඩියේ
මතක නැතුව අත වැදුණා දෙමළ ලියේ
කවිය බලන්න
කිරි අම්මා
මුළු ජීවිතය පුරාවට
ඉසිලූ මහබර
තවමත් බිමින් නොතියන
කිරි අම්මා
චයාරූපය රණමුරේ වනගත ගම්වල දී - සාරංග
කවිය බලන්න
සිතුවිලි ඕඝය
ඉඳුරන් දෙන බොරු තොරතුරු අරගෙන
මැවෙනා සිතුවිලි ගංගාවේ
අපේ හිතේ ඇති ඇත්ත වැසී ඇත
පුහුදුන් සිතකට එය නොදැනේ
අරහත් බව හා නිවන සනාතන
පිටින් ලබාගන්නට බැරි දේකී
එයයි සිතේ ඇති ඇත්තම තත්තේ
අපමයි එය මතුකළ යුතු වෙන්නේ
සිතුවිලි පහවී හිස්වුණු සිතකයි
රහත් බවත් නිවනත් මතුවෙන්නේ
කවිය බලන්න
මව් කිරුළ
නිමිත්ත; විවාහක ලෝ රූ රැජිණගේ කිරුළ හිසෙන් ගලවා කළ හදියක් - පුවතක් - 2021
ලෝක රූ රැජිණිය විවාහක
නේක බාදා විඳ කටුක දුක
සෝක දුරලා නැතිව බිය සැක
දාක සැනසේ මව් කිරුළ රැක
දෙදහස් පන්සිය වසරක් ඉක්මී ඔබට කිරුළ පළඳා
අනුහස් දී ගරුසරු පුද ලැබුමට ගෙදර බුදුන් කළදා
සුවහස් ලෝ දා කම්පිත කරමින් එළිය දුටුවදා බිලිඳා
අගහස් මැණිකකි මිහිකත මෑණිගෙ හදමල කළ දුලදා
මෙත්තා - රත් මැණික් ඔපදෙනා
මුදිතා - නිල් මැණික් පරයනා
කරුණා - වයිරෝඩි සරසනා
උපෙක්ඛා - දියමන්ති දිදුලනා
විස්ව විවාහක පුජනීය මව්වරුනේ
උස්ව වැඩෙන සිව්බඹවිහරණ වරුණේ
හිස් අවුල් ජාල කළ කිරුළට ලොබ නොවුනේ
මස් ලේ දන් දුන් අම්මාවරුමය මහ බඹුසේ මැවුනේ
කවිය බලන්න
දුටුවාද, ඇසුණාද ,දැනුණා ද පවසන්න
දුටුවාද පවසන්න,
සෙමෙන් උස පහත් වන
සමුදුරේ හිස හොවා
සැතපෙනා සුපුන් සද?
හොවා හිස, සැලෙන මා ළය මඩල මත
ඔබ සිටියෙත් එලෙස.
දුටුවාද පවසන්න
පොකුණුතෙරටම අවුත් මොහොතකට නැවතෙනා දියරැල්ල?
මා ලවන් සොයා විත් ඒ මතම ඔබ ලවන් මොහොතකට
නැවතුණෙත් එලෙස.
ඇසුණාද පවසන්න
මකරන්ද රස පිරුණු කුමුදු මලකට ළංව
ගුම්නාද නින්නාද, මත් බිගුන් සරා සර?
මා සවන් මත දෙතොල් තදකරන්
මිහිරි ලෙස,
මිමිණූ ඔබේ සරය ද එයය.
දැනුණාද පවසන්න තරුවකින්
බිම වැටුණු ,තුෂර බිදුවක සීත?
සමුගන්න යන මොහොතෙ
ඒ හිමිදිරි යාමේ
මගේ කොපුළෙත් රැදුණේ ඒ සීත.
කවිය බලන්න
මේ කොයි යන්නේ
බුදු පද ඇසුවත් කල්පයකුත් වැඩි
දන් දී පින්ගෙන රැක සිල්පද පස
මේ වන තුරු ඇසුවෙ ද දුටුවෙ ද යම්
කිසිවකු මඟපල සතරට වන් බව...
පෙරළෙන සක මෙන් ගොනු පසුපස යන
අම්බලමක අප ගෙවන දිරිය හැර
කල අත වනනා දින මරු ඇවිදින්
එක්කන් යන්නට තව ලොවකට යස...
කවුරුත් නොදන්න දිවි රස විඳිනට
අප යනවා-යනවා මේ සසරේ
තෙරක් නොපෙනෙනා මහ ගැඹරක් වන්
පිහිනා සැඩ රළ දිවි දඟ සයුරේ...
උස්- වත්-පොහොසත්-නිල-තල-බල-සැප
මිටි-දුක්ගැට-දුක්පත්-දිවි අසරණ
කඳු -වළ වාගෙයි ඈත පෙනෙන්නේ
නොදැන ද අප ඉන් පහළ වැටෙන්නේ...
ඉසි-කෝ-මන-රා තුන් සිත රඳවා
තුන් යම දිවි කල බරට ම ඇද-ඇද
සසර සිඟමනේ යාදින්නෙකි මා
ඉපැදී-මියැදී යනෙන තුරාවට...
මේ භවයත් මට-කල්පයකට වැඩි
බුදු පද ඇසුවා-දන් දී පින්ගෙන
හාමුදුරුවනේ මට ම නොතේරෙන
දිවිය කිමැයි කිව මැන පහදා සිත...!
කවිය බලන්න
කුළුඳුල් ආදරය
විකසිත ආදරයක පෙම් සුවඳ
මොනවට දන්න බඹරුන් නිබඳ
ඉව අල්ලන්න පෙරාතුව සබඳ
රැකවල් ලන්න කැකුලට පෙම් බැඳ
මහ ඝන රුදු වනන්තරේ
කඳු පාමුල නිල් දොල පාරේ
කර්කෂ රලු මහ පාරේ
සුපිපෙන නිකැළැල් ආදරේ
අකාලයේ පෙති නොකඩාම
විකසිත හසකැන් නොතලාම
සෙනෙහසේ කැකුළු පූදින්නටම
වාසනා වේවා දෙවි පිහිටෙන්ම
මුසපත් දැහැනකට සම වදින්නට
ආදරයෙන් හැඟුම් පුරවන්නට
යුගදිවියේ බැති ගි ගයන්නට
සුපැතුම් හිත් මල් වස්සානයට
12/04/21
කවිය බලන්න
කොළඹ යුගයේ සිත්ගත් කවි - බුදු සිරි අසිරිය
බුදු සමිඳුන් හෙවණේ සිටියොත් මට කොතැනෙක හෝ දස දිසන්තයේ
එ මොහොත නම් පුර පසලොස්වක වෙයි වෙසක් මලින් පිරි වසන්තයේ
ලොවුතුරු මිහිරේ මහිමය උදහන දෙව්දහ පුර සල් දුමන්තයේ
දෙව්දුනු එළියෙන් අන්තය දැක්වෙයි අනන්ත සක්වළ සමන්තයේ
ගම් දොර වන රොද අද්දර පන්සල් කුටියේ රූස්ස රුප්පාවේ
අබ තෙල් පානේ වැටියෙන් විහිදෙන කැන් කිඳු මදු මුදවට පාවේ
දෙ සඳුන් සුවඳින් පින් පරිසරයේ පැද්දෙන ගංටාවෙහි රාවේ
ගෙන එන්නේ නොපැවැසූ උදානය බෝමුල බුද්ධ ගයාවේ
මල් පෙත්තක් බිම වැටුණ ද හඬ හැඳිනිය හැකි නිසසල එළි මහනේ
දවහත් තරු දෑ සමන් සේදු මැදියම් රෑ කල හඳ පහනේ
ඇස්වුණු බුදු බණ පදවල පිළිරැව් මිගදායේ ඉසි වන දහනේ
සව්නේ මඬලේ නොපෙනෙන ගැඹුරට කිඳා බසියි දී සිත් සහනේ
සන්සුන් දසුනේ උපසම සිරියේ ගල රළ පෙළ පෑ රැස් මූදේ
ගන රන් නැව් බඳු දෙතිසක් වර මහ පුරිස් ලකුණු රැඳි සිරිපාදේ
සිහිලළ පහසින් සුවපත් වුණු පින් බිම්කඩවල දාගබ් සෑදේ
වාහල්කඩවල පුදසුන් දෝවනයට මගෙ හද බැති මල් පීදේ
නිල් කටරොළු මල් පැහැ රැඳි වෙල පෙළ රොද බැඳි පාටට පැලක් තියා
විහඟුන් ගැවැසෙන ගිරිකුළු අතරේ පිළසල නෙන් පිළිබහන් නියා
අරණේ ඉන්නම් ගං ගල් ඇසුරේ සිවු පිළිසිඹියා සැපත් සොයා
සඳ සේ මුල වන ගායත්තිය ගෙන අටකුරු විරිතින් ගයක් ගයා
ගැළියායෙන්බද කෑමෙන් මුලු දී පැහැර උරෙන් උර සිවු පිරිසේ
බුදු එළියෙන් ඇස තෙමෙන මානෙ උළුලුයෙන් එකත්පස හිඳ නිසි සේ
බුදු මුව බලමින් දෝත තබා ගෙන සැදැහැ බරින් නතු වුණු සිරසේ
තෙවළා බණ කවි සිඳු කිමිදෙන්නම් හැම අකුර ම වණ පොත් වන සේ
තුන් ලෝ තලයෙහි කිසියම් තැනකට වඩනා සඳ සත් වග සඳහා
කෙළ සුවහස් දන විස්මය ගන්වන සිත් ගමනින් ඉදුහය විදහා
සිවුරඟ සෙනඟක් ඇත් අස් රතයක් අහස්යානයක් සර සහරා
සඳ විමනක් නව්කාවක් කුමට ද ම හිමිට ගොඩ දිය නුබ හරහා
ගඟ දිය බස්නා ඉමිහිරි තාලෙට පිලඹළ මොනරුන් රැඟුම් සෙවී
අරණින් නොමිදී අරණේ පසු වී වන වාසයකින් මහලු නොවී
අජකරණී නදියෙහි ඉවුරේ සිත් අලවන සෙනසුන් ලෙනක මැවී
සප්පක තෙර මෙන් ථෙර ගීතයත් නංවමි පවිවේකයෙන් නිවී
හදිසියෙ දුටුවොත් හිමියාණන් වඩනා බව මගෙ ගම් පියෙස මඟා
හිටිවන ගාතා පෙළක් ගයා සම්බුදු අසිරිය කිවි බසට නඟා
සිරි පා නමදින්නට බදැඳිලි මල් මිටි මිටි ගෙන හිස මතට නඟා
පිළිවන් නම් වංගීස බමුණු හට මට බැරි ඇයි වී පියට ළඟා
ගස්වැල්වල මල්ගොඩ දිය පිපි මල් අහසේ පිපි මල් උහට උහේ
සිවු දෑ ගඳ දුම් පුනු රැසි පෝ දින විහිදෙන පින් බර වෙසක් මහේ
තෙමඟුල සිදු වුණු තෙමඟුල් සිහි කළ සිල් පිරිසෙහි බුදු මතුර ඇහේ
බුදු සිරි අසිරිය පවසන්නට මට සවියක් නැත මගෙ පුරුදු බහේ
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
බුදුන් දහම් සඟනට නොකෙළෙද අදර
නිවන් දකින පිනකුත් නොකෙළෙද පවර
ලියන තන නොසිපියෙද සිහිනෙන් විතර
උපන් මව යොවුන් වනයට පොරෝ යුර
යමෙක් බුද්ධ,ධම්ම, සංඝ යන තෙරුවනට ආදරය නොකළේ ද,
නිවන් දක්නා උතුම් පිනකුත් නොකළේ ද , ස්ත්‍රීන්ගේ පයෝදර
සිහිනෙන්වත් සිප නොගත්තේ ද එවැනි තැනැත්තා මවගේ
තරුණකම නමැති වනය විනාශ කර දැමූ පොරොවක් වැන්න
කවිය බලන්න
දඹදිව දී
බණ පදයක හඬක් නොවතළ මාරුතයේ
මුනිඳුට මලක් නොපිදෙන මල් ආසනයේ
බුදු පිය සුතන් නොපෙනෙන මුනි සාසනයේ
බුදු හිමි සොයමි හිමි බුදු වුණු බාරතයේ
කිසිවෙක් නො මැ දනිති හිමි දෙසුව මුනි බණ
කිසිවෙක් නො තෙපලති කිසි තැනෙක හිමි ගැන
කිසිවෙක් නො හඳුනති බණ දෙසන සඟ ගණ
කිසිවෙක් නො සලකති මුනි රුවට කිසි තැන
පුර සඳ අඹර පායා දිලුණත් රුවට
සාදුකාරයක් නෑසෙයි දෙසවනට
වෙසඟෙහි සඳු ද නැඟ බැස යයි නියදමට
පසළොස්වකත් තව දවසකි දඹදිවට
පසළොස්වකට පුද පෙත් පිදෙන තැන් නැත
බෝ තුරු මුලට දිය වත් කෙරෙන තැන් නැත
මහ සඟ ගණට දන් බත් පිදෙන තැන් නැත
මහ මුනි නමට මුදුන'ත් බැඳෙන තැන් නැත
මගෙ බුදු හිමි ද බුදුහිමි දැරුව සිවුරු ද
හිමි නිය රැසෙහි දැවටුණු මහරු පඬුරු ද
බැහැරට කළෝ මෙ බිමින් සොයමි කවුරු ද
දහසක් දෙවිවරු ද මෙහි වෙසෙන නුවරු ද?
කෝවිල් අරා ගෝවින්දන් රාමන් ය
ගෙමිදුල් පුරා වඩිවේලන් කුමරුන් ය
පුද පෙත් දරා අයියප්පන් කණ්ණන් ය
රෝදුක් වරා වේලංකනි අම්මන් ය
විස්කම් පෑව ගල්වඩුවන්ට දඹදිව
බුදු රුව නෙළිය නො හැකිය මෙදින රුවැතිව
උන් අත්වලින් නිමැවුණු නිබඳ නිගරුව
හිමි රුව තිබේ විකුණා ගන්ට නො හැකිව
දම් සෝ රජ දවස දඹදිව මැ එළිකළ
දඹදිව ඉක්ම ගොස් අන් දෙස ද සුපතළ
සදහම පරම පිවිතුරු මුනිඳු වදහළ
කාරණ කිම් ද මෙහි නොරඳන්ට මෙම කල
දම්පල් නම් කෙනෙකු ලක්දිවෙහි ඉපදිලා
සමිඳුන් වැඩ විසූ මේ බිමට පැමිණිලා
කළ කම් නොවන්නට බුදු පහස වැළලිලා
තෙමඟුල සිදු වු තැන් වුව පසට යට වෙලා
බුදු හිමි සුරැක ගත් බුදු හිමිගෙ රට තුළ
දම්පල් නම් මහරු මිනිසාගෙ තෙද බල
සමරා පුදමි ඒ විරු නමට කවි මල
පතමින් නිවන් සුව එතුමන්ට මතු කල
කවිය බලන්න
ගමන යන ගමන්
හිරු රැස් එක ලෙස විහිදන
රාත්‍රිය බලා ගමනේ යන
වෙලාවට යන්න දී බලා හිදින
දිවියකි හුස්මකි මනුසත්බවයකි
දිවට කා බී හිත පුරවා
සුවඳයි සුවඳයි හිත පුරවා
දැකලා අහලා හිත පුරවා
ස්පර්ශ කර බැලුවා හිත පුරවා
ආවොත් යා යුතුමය
එහෙනම් එන්නැතිව සිටිය යුතුය
නොයනෙමි මා කිසිදාවත්
සිතමින් සිටිති ගමන යන ගමන්
කවිය බලන්න
ප්‍රභාකරන්
එදා වැල්වැටිතුරෙයි පුතකු ලෙස
ඔබ උපන් දා ඔබේ මවුපියන්
ඔබ ලොවට හිරු වෙතැයි හිතාගෙන
දෙන්න ඇති නම “ප්‍රභාකරන්” යන
බුද්ධියෙන් දයාවෙන් අනූන වූ
කුමාරස්වාමි - අරුණාචලම්
ඔබේ ජාතියම බැබළවූ බව
පොතක් නොකියවූ ඔබ නොදන්නෙය
ඔබ ඔබේ දරු දෙදෙන තුරුලු කර
බිරිඳ මදිවදනි හා එක පෙළට
පවුලේ පින්තූරයට සිටින විට
දරු සෙනේ - පිය සෙනේ දැනෙනවද?
මවු තනේ කිරි උරන බිලින්දන්
පාසලට පිය නඟන දූ පුතුන්
ලේ විලක මරා දා සතුටු වන
කුරිරු සිත් ඔබට ලැබුණේ කෙලෙස?
ශ්‍රී මහා බෝ සෙවණෙ වාඩි වී
සකල සත්වයා හට මෙත් වඩන
උවසු උවැසියන් ඝාතනය කර
ජාතියක් රකින්නේ කෙලෙසක ද?
ශුද්ධ වූ කුරාණේ කියවද්දි
පල්ලියේ දෙව් සමිඳු යදිද්දී
ඔවුන්ගේ පපු කැණැති සිදුරු කර
ලේ විලක් කළේ මොන හිතකින්ද?
වැල්ලවත්තේ - කොළඹ කඩ කරන
හැටන් - තලවකැලේ තේ කඩන
නැතිකමට වහල් මෙහෙවර කරන
සැවොම මගෙ නෑයෝය - සොයුරෝය
යාපනේ තල්වැටෙන් එපිටහත්
වන්නියේ තල්වැටෙන් මෙපිටහත්
වෙසෙන ඒ සියලු දෙන නෑයෝය
මගේ මවු පියවරුය - දරුවෝය
දෙමළ - සිංහල ද මුස්ලිම් දනන්
දයා විරහිත විලස ගෙල සිඳින
මගේ මේ මවුබිමට වින කරන
නෑකමක් නැති කෙනා ඔබ පමණි
ජාතියක් ජන්මයක් නොසළකන
මිනිස්කම ඉදිරියේ පලිගසන
නුඹ දිහෑ මෙත් සිතින් බලන්නට
කෙදින හෝ බුදු බවම ලද යුතුය.
( ප්‍රභාකරන් ඝාතනයට ලක් වූයේ 2009 මැයි 19 වැනිදායි )
කවිය බලන්න
වෙසඟ සිතුම්
වෙසක් මහේ පුරා හඳක්
බුදු තෙමඟුල සිහි කරවයි
වෙසක් තොරණ පහන් නැතත්
සිත් පැහැදුම නොවෙනස්මයි
පන්සල් බිම හරි සන්සුන්
නැහැ දන්සැල් කෑ කොස්සන්
සන්සුන් ගමනින් වඩින්නේ
බවුන් වඩන බුද්ධ පුතුන්
රෝ බිය අප ගිල ගත්දා
දිවියේ අනියත ඇසුවා
බුදු සමිදුන් දෙසු දහමේ
අරුත කුමක්දැයි දුටුවා
ගත සිත සන්සුන් කරගෙන
බුදු ගුණ අපි මෙනෙහෙ කරමු
උතුම් වෙසක් පොහොය දිනේ
සැමට සතුට එක්ව පතමු
කවිය බලන්න
වදන් කවි පොතේ සිත්ගත් කවි
තිබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වළ නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
තිබූ තැනකින් සොර සතුරන්ට ගත නොහැකි,
සැඩ වතුර පහරට ගසාගෙන නොයන,
රජු කෝප වුවද ඔහුට ගත නොහැකි ශිල්ප ශාස්ත්‍රය ම
මතු ජීවිතය රැක ගැනීමට හේතු වේ.
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
ගුත්තිල මහ සිපී
සක් දෙව් බසින් සැතපී
මින් දිනමැයි දැපී
බමර තත පළමුවෙන් සිඳපී
ගුත්තිල මහ ශිල්පියා ශක්‍ර දෙවිඳුන්ගේ කීම අසා
මූසිල හා සටනින් ජය ගනිමියි උඬගුව බමර තත
පළමුවෙන් බිඳ දැමීය
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්දමන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමා වීණා තතද සින්දේ
කෙලෙහි ගුණ නැති මූසිල අන්ද මන්ද වී ජයෙහි
තෘෂ්ණාවෙන් තමා ගේ වීණාවේ තත ද සිඳලීය
සටහන:
ශිෂ්‍යයා සමඟ හරි හරියට තරඟ කොට දිනීමට අපොහොසත්
බව දත් ගුරුතුමා සක්‍ර දෙවියන් ගේ උපදෙස් අසා උදව් ලැබ
තම සිසුවා නොමඟ යැවූ ආකාරයයි මේ. කිසිවක් නිසි ලෙස
නොවිමසා ගුරුවරයා අනුකරණය කරන්නට යන ගෝලයිනට
පාඩමකිය මේ.
කවිය බලන්න
පාස්කු.
(පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සැමියා වෙනුවෙන් බිරිඳකට වන්දි නොලැබුණි)
මරණ සහතික පැතූ
රාළහාමි නපුරුයි කළු
මලකදක් තිබුනැයි ගරු
උන්දැ යන්නැති පරදා මරු
මුසාවක් කියනව බොරු
රෑට ඇවිදින් නිදිවැරූ
මහත්තුරු වෙති බැලු බැලූ
උන් දනී මිනිහගෙ තතු
හඩද්දී සාගිනි රළු
පල්ලියේ ඔරසන් බැරූ
ඉස්ටෝරු කාමරේ සරු
මුදලාලි කියයි ඒ ගැන වරු
ඉතින් මේ නම් මගෙ පුතු
කාගෙ කාගෙත් රූ සරු
ආණ්ඩුවටත් බැරි බරු
දරන්නම් මියෙනා තුරු
කවිය බලන්න
ගොවි රජ බිරිඳ වලප (නුතන ගජගා වන්නම)
තුමුල බලැති ගිජිඳානෙනි වනයේ සැරිසරනා
නමැඳ ගිගිරි නොරිදුු පා කියමි ළයෙහි දුක මා
නැතිද නුඹට හද මඬලක් මසින් පිරුණු ලමැදා
දුකකි අහෝ නොසිදෙන! මෙි අසනු සවන් විහිදා
කරළ පැහෙන තෙක් නොනිවෙන දුක් ගොන්නක් මැදිනේ
කුසට අහර උගුර තෙමන පැන් කලදක් නොවුනේ
දරු පිරිවර රැකි ඇවිදින ඇට මිස 'මස' නොවුනේ
ගිජිඳානෙනි පෑගූ පය නැතිවද නුඹෙ රිදුනේ?
රැයේ තනිව කිිි සිිපද යළි සවනට නැත්තේ
උදේ හවා වැන්ඳ දෙපා නිසල වුනා සත්තේ
මග වැරදිි ආවද නුඹ අපේ ගොයම පැත්තේ
කැණිමඩලයි අපේ ගෙදර අද නුඹ බිලි ගත්තේ!
කවිය බලන්න
දුරස් වී ළඟින්
අර ඈත තියන තරුගොන්නයි
නුඹට පේන්නේ
අත පාන දිලෙන තරුවක්මයි
ඇසේ දිලෙන්නේ
තව ඈත සඳක් පායපු බව
නුඹ නෑ දන්නේ
නුඹ නෑ දන්නේ ...
වැට කඩොළු බැඳන්
නුඹ හිටියට
ඈත කොදෙව්වේ
නුඹ නෙළාගත්තු මලමයි
හිත් කොනේ පිපෙන්නේ
සඳ එළිය ඇවිත් හිස පිරිමැද
පිදූවත් සෙනේ
එහි සිහිලක් හෝ සුවයක්
නෑ නුඹට වැටහුණේ
නෑ නුඹට වැටහුණේ ...
කවි සීපද ලියු පන්හිඳ අද
බොඳවෙලා ටිකක්
ඉන් ලියවුණු කවි රස නැති බව
දන්නවා මමත්
ආදරයක රස විඳින විදිය
දන්නෙ නැති නමුත්
පද අතර බැඳුණු තාල අතර
ඉන්නවා නුඹත්
ඉන්නවා නුඹත් ...
කවිය බලන්න
තුන්වන යාමයෙ,න්
මතක ඇති ඉසව්වේ
කාල දිවි නිම්නයේ
පෙර'ඹරේ
දිසෙයි ඔබ යෝධ රුව
සමන් ගිරි පව්ව සේ
මැවෙයි දසුනෙන් දසුන
අගින් මුල සොයා යන
සිතුවම් පෙළක් සේ
ජීවිතය එක පැහැර
සවිය දහදිය පුදා
කෙතට දී මුළු දවස
අඳුරු ගුලියක් ලෙසින්
ගොම්මනේ පැලට වන්
හිරු රැසින් පදම් වූ
මහ පුරිස්කය කෙරෙන්
පුසුඹ දුන් මඩ සුවඳ
මසිත කය පුබුදුවයි
පුවක් මල් වැටක් සේ
පොරෝ-කැති-වප් පිහිය
දැති කියත්-යකුළු මිටි
උදලු සෙන් පිරිවරා
ලෙලවමින්-තෙල්රැසින්
පිපුණු මස් ගොබ යවට
කෙතේ-යායේ හේනෙ
ගල්වලේ-මහ වනේ
විකුම් පෑ-යෝධ අවයව
රෝහලේ යහන මත
වැතිර ඇත
පරඬලා පත් ලෙසට
සූ අසූවිය පුරා
නුහුරු වූ
සේලයින් බට අතර
පවුල් බර උර දැරූ
වැර රැගත් හුස්ම පොද
ගුණ දමින් දිළිඳු වූ
විසෙන් නැගි ලෝකයක
කිළුට අදිනුව රිසින්
එමෙන් තනිපංගල ව
කය තුලට ගනු විලස
දරන තැත - පියාණෙනි
බලා හිඳිනෙම් කෙලෙස !
2021.04.17
කවිය බලන්න
වැනසුවේ වන රිකිලි පහසුවට
වැනසුවේ වන රිකිලි පහසුවට
වනසා දැමුවේ කුරිරු සිතෙන්
දහස් ගණනකගේ ජීවිත
ප්‍රතිපල හැරවී එන්නෙ අපට නේද
මනු රකුසා
දළ ගන්නට බිම බෑවේ දළ ඇතාව
මිනිස් කම බිම හෙලුයේ ඒ සතාම
කැපුවේ වන වදුලු තනන්නට නිවාස
වනසාලයි සතුන්ගෙ වාසස්ථාන
වනය වැනසීමෙන්
නැති වෙන්නේ හුස්ම
කැපුවාට අභය භූමි හොඳට
කැපුවේ කවුද කියලවත් දන්නෑ මුන්ට
නාය යනකොට හොඳට
මැරි මැරී යනකොට
දැනෙයි කරපුවයේ විපාක.
කවිය බලන්න
ඌරන් හා උරුමය
සිහිවන විටත් මනසට සුවයක් දැනෙනා
වනයකි මහත් සිටි අය සතුටින් වෙසෙනා
එහිවුනි බොහෝ පළතුරු රසයෙන් පිරෙනා
පවසට සිසිල් දිය විය සැමතින් ගලනා
රැකුමට ඉතින් වනයෙහි පැනයක් නැගෙනා
වනයෙහි සතුන් අතරෙහි කෙනෙකුන් සොයනා
කරනෙමු කියන් පසුවට වනයක් සොබනා
රැවටුනි සතුන් සිහසුන ඌරන් දිනනා
රංචුව උන්ගෙ දින දින තව ලොකුවෙන්නේ
දෙපිලට බෙදී මුළු වනයම වනසන්නේ
පිහිටකි සතුන් වුණ අසරණ අයැදින්නේ
කළහැකි යමක් වුන් එලියට නැත එන්නේ
වනයම විනාසයි ගස් ටික පෙරලනවා
පොලොවද විනාසයි නිල් දිය බොරවෙනවා
අමනයො හිඟාගෙන උන් පසුපස යනවා
හැකිකම තිබූ අය දැන් මෙය හැර යනවා
රැකදෙමු ඉතින් පැටවුන් හටවත් වනය
වැටකොටු බැඳන් ඌරන් එලවිය යුතුය
පොලුකැති අරන් දසතින් එක්වනු හොඳය
තව එක වරක් සිතමින් ඉන්නට බැරිය
කවිය බලන්න
මුහුණු පොත
කොටන්න හිතුනම කොටනවා ආතපාත නැතුව
දාන්න හිතුනම දානවා මෙලෝ රහක් නැතුව
ඕන දෙයයි එපා දෙයයි පටල ගන්නෙ නැතුව
මුහුණු පොතට රිංගමු අපි අනා ගන්නෙ නැතුව
ෆෝන් එකට හසුවන හැම දෙයක් ම එහි දාලා
මල විගඩම් live වලින් පිස්සු කෙරුම් කරලා
සිහි විකලෙන් කරනවු ඒ මනස්ගාත පිරිලා
වෙරි හිදුනම ලජ්ජා වෙයි රෙදි හැම ගැලවීලා
ඕන දෙයි එපා දෙයයි නිතරම කොට කොටා
ලොව ඉදිරියෙ සිනාවකට බිලි වෙනවට වඩා
තෝරා බේරා කර ගත්තොත් හොඳට සිතා බලා
ඉන්නට හැකිවෙයි ඔබහට සතුටින් ඉපිළිලා
ලොකු පොඩි කාටත් හොඳ මිතුරෙක් කරගෙන
වටිනා කාලයත් හොඳට මැනේජ් කරගෙන
මුහුණු පොතේ සරිසරුවොත් හරියට දැනගෙන
හොඳක් මිසක අවැඩක් නම් නැත්තේ කිසි දින
කවිය බලන්න
බිම උරුමය බැහැ මුදලට දෙනු පාවා....
පෙර දිග මුතු ඇටය සහ දම් දිවයින ය
මුර කළ පොරණ විරු ලෙය මිහිදන් බිම ය
නිර දොර වැසූ බුදුනට පිදු සිවු දෙස ය
පර දුසිරිතට බිම දෙනු අදහනු බැරි ය
තම දොරකඩ ඇති හොංකොං බදු දේසේ
කිම චීනට සුද්දව පිට කළ තෝසේ ?
ඉම හෙළ බිම දෙතොත් පර දෙසු හට වාසේ
සැම නො දැකුම පුදුමයි එහි ඇති දෝසේ
පෝට් සිටියෙ මණ්ඩලයට බලය දෙන
නැත නීතියෙ පුරවැසි කම ඇවැසි වන
එම් සී සී යෙ නිලදරු හට යටත් වුණ
දොස් දැක බියෙ,අද කෙලෙසද එකඟ වෙන ?
වහ වුණු අපට එම්සීසි යෙ සන්දේසී
රහ වෙනු බැහැ පෝට් සිටියෙ කොන්දේසී
බහ දෙනු කෙ ලෙස ? රට - දැය කර වෙන්දේසී
පහ වුණු විට නැහැ පල, ලද බන්දේසී
එම් සී සි ය - පෝට් සිටිය මොක වේවා
බිම උරුමය බැහැ මුදලට දෙනු පාවා
යළි පිබිදිය යුතු, දිවි පිදු විරු හේවා
නිදහස-දැය මතු දරු හට රැක දේවා !
කවිය බලන්න
ජීවිතය නැවතිලා......
දුරට වෙන්නට පාළු අහසේ වළා කැටියක් තනි වෙලා
වහින විට කළු රකුසු වෙස් ගෙන මගේ නෙතු යුග බිය කළා
හිරුත් සමඟින් එකතු වී හිඳ නොයෙක් වර්නෙන් හැඩ වෙලා
විටින් විට වෙනසකින් සැරසෙන නුඹගේ ගති මට සිහි කළා
වසත් සමයේ හරිත කොළයෙන් මහා ගස් වැල් හැඩ වුණා
එවන් කොළ නෙක වර්ණ ගැන්වී සරතයේ බිම වැතිරුනා
ඉපල් වූ ගස් මහා දුකකින් නග්න වී මුළු ගැන්වුණා
නුඹේ ආලෙත් මෙලෙස වී මා දිනෙන් දින අසරණ වුණා
මුහුදු වෙරළේ තබපු පා සටහනක කිසිදා රැඳෙනු නෑ
රලක් බිඳිලා විසිර ගිය කල නැවත ඒ රළ සොයනු නෑ
එලෙස අපෙ ආදරෙත් කිසියම් මතකයක් ඔබෙ සිතෙහි නෑ
එදා සිත් පිරි සොඳුරු සිතිවිලි ආයේ කිසිදා නැඟෙනු නෑ
ඉරෙන් එළියක් ගත් නමුඳු සඳු සහන් එළියක් විහිදුවා
තරුත් සමඟින් එකතු වී මුළු ගඟන තලයම බැබළුවා
එහෙත් සඳ යැයි සිතූ ඔබ හිරුටත් වඩා සැර පතුරුවා
මගේ දිවියම දවාලූවා තවත් හිරු දහසක් මවා
ඉතිං කාහට පවසම්ද මම ආපු නුඹ ආපහු ගියා
මධු විතෙන් පිරි බෝතලය පමණක්ම තනියට ළඟ තියා
වරද කාගෙද කුමක් සිදුවිද සොයා තේරුම් නැති නියා
මෙලෙස මත්වී තනිව ඉමි අද ජීවිතේ සින්නව ගියා
කවිය බලන්න
පුරණා පාරමී සපුරා බුදුවන්න ! අම්මේ
උණුහුම ලැබුණෙ මාපිය උරුමය හන්දා
සැනසුම පළාගියෙ පවුලේ බර හන්දා
නොපෙණන සැප නොවේ පෙණෙනා දුක දරණා
ගාලු කොටුව සේ සිටියා අපෙ අම්මා
සුපුරුදු ලෙසට ආවත් හිරු සඳු සේම
විකසිත වුණත් හදමල් මුලු පවුලේම
නිවණා කුසගින්න දරණා පැතුමෙන්ම
වඩණා පාරමී මුලුතැන්ගේ තුළම
කුස්සිය පිරෙන්නේ කුසගිණි වෙලාවට
දරුගිණි දැණෙන්නේ විතරයි අම්මාට
තැවි තැවි දුක් ගන්නේ පවුලම ගොඩගන්න
පුරණා පාරමී සපුරා බුදුවන්න
කවිය බලන්න
කොරෝනා අතුරු පල
ඔන්ලයින් ඔන්ලයින් ඉගෙනීම ඔන්ලයින්
ඔන්ලයින් ඔන්ලයින් රැකියාව ඔන්ලයින්
ඔන්ලයින් ඔන්ලයින් උපදේස ඔන්ලයින්
ඔන්ලයින් ඔන්ලයින් ලෙඩ ගොඩක් ඔන්ලයින්
ඇස් ඇඟිලි වැඩ කරයි කට කනුත් වැඩ කරයි
මොලය මුවහත් කරයි එකම තැන වැඩ ගොඩයි
ඇඟ එකම තැන තමයි ලේ ගමන අඩු කරයි
සිරුර හා මනස ඔබෙ නොදැනීම ලෙඩ කරයි
දරුවො පාසල් නොයයි ඉගෙනීම මග හැරෙයි
හෙට දවසෙ තරුණ අය ක්‍රියා විරහිත කරයි
විශ්‍රාම ගත් අය ද ඉතා අසරණ කරයි
අනාගත ලෝකයට මහ ගැටලු ඇති කරයි
ලෝකයම අත්විදින කඳුලු උතුරා හැලෙන
වියෝ දුක තුරන් වී සහනයක් ලබා දී
ජීවිතය පරිසරය වටින බව පෙන්වා දුන්
කොරෝනා කොරෝනා යන්න අනේ කොරෝනා
කම්පනය
අඳුරු අහසක් නොවී එදවස
සුදු වලාකුළු නොදුටි ගුවනත
දුර කථනයේ හැඬුම අවසන
ගමන ඉක්මන් කළේ නුඹෙ මුව
හෙදිය පෑ මදහස සිත'ග විය
උපාදානය සුළඟෙ මුසුවිය
මතක කැළතී සිතේ සුළි ලෙස
කෙළිබිමේ පාසලේ දැවටිය
පිටියෙ කෙළිබිම දුවන වේගය
වරළ අල්ලන් දොඩන බාසය
අග මුලක් නැති මතක සටහන්
සොඳුරු සිත්තම් ලෙසින් පාවිය
බෙහෙත් මුසු ගඳ සුළඟ නැහැයට
දැනෙද්දී ඔහු මට පැවසු මග
ගොසින් අවසන දුටුව පුවරුව
මගේ සිත කම්පනය කරවිය
මිණී කාමරයේ අඳුරු දොර
ඇරුණි මා හට ඇතුල් වන්නට
සිනා නැති නුඹෙ මලානික මුව
දෙසට නෙත් යොමු කරනු කෙලෙසද
කවිය බලන්න
පවු පිරෙනා වෙසක්...
සිරිපා මලුව කරුණා කරනා සද්දේ
මැකිලා ගියා නැඟ ආ පුර හඳ මැද්දේ
පිපිලා මලුත් තිබුනා සුවඳට බැද්දේ
නෙලලා ගෙනත් විකුණන්නට යම යුද්දේ
එළිනෙක විහිදුනා තොරණේ යස රුවට
දසතම දිස්වුනා සුරපුරයක් ලෙසට
තුන් දොර කෙලෙසුනා වැටිලා තරඟයට
නොදැනිම පිරවුනා පව් තව සිත් වලට
කියනා බණක් නැත කිසිවෙක් ඇසෙන්නට
රකිනා බවක් නැත පන්සිල් පෙනෙන්නට
කරනා දෙයක් නැත සිත නම් හැදෙන්නට
ඇදිලා ගියත් සිව් නිරයට වැටෙන්නට
බුදු හිමි දෙසූ සදහම් පැන් පසෙක හෙලා
කරමින් නේක විගඩම් ඇත සිතම පෙලා
මුදලත් සමග හරි හරියට හාද වෙලා
වෙසඟත් තවත් සමරන දිනයක්ම කලා
පසෙකින් තබා දුක හා දුක පෙලන රඟ
සොයමින් නොයා එය වලකන නියම මග
කරමින් වාද බුදු ඉපදුන රටක වග
කෙලෙසින් හිමිවෙයිද සැනසුම සසර අග
කවිය බලන්න
'සිරිත් මල්දම' උපදේශයේ සිත්ගත් කවි
කිළිටු ඇඳුම් එළිපිට නො තියන්නේ
කිළිටු ඇඳුම් ගෙන බඩු නො පිසින්නේ
ඉරුණු ඇඳුම් ඇඳගෙන නොයිඳින්නේ
විහිළු ඇඳුම් ඇඳ ගමන් නොයන්නේ
කවිය බලන්න
ගිනි දැල් නිවාලමු
අනාගත ජනතාව රැක ගැනීමට වගකීම ඇති බව වටහා .......... ගනිමු
මේ මනු ලොව සුරැකීමේ , වගකීමක්ද ඇති බවට වටහා .......... ගනිමු
මිත්‍රවරුණි, ලොව පුරා සහෝදරත්වයෙන් අත් වැල් බැද .......... ගනිමු
වෙෙරය, ක්‍රෝරෝධය හා තණ්හාව දුරු කරවා එකට .......... එක්වෙමු
ඊර්ශ්‍යාව හා ක්‍රෝධය ඇති තැන, කළකෝළාහළ ඇති .......... වන්නේ
කළකෝහළාහළ ඇති තැන, වෙෙරයේ ගිණි දැල් බිහි .......... වන්නේ
මිත්‍රවරුණි, ලොව පුරා සහෝදරත්වයෙන් අත් වැල් බැද .......... ගන්නේ
ලොවෙහි තැන තැන ඇවිලෙනාගිණි දැල් නිමන්න අපි .......... එක්වන්නේ
කවිය බලන්න
පෙම්වත් කුහුඹුවන් දුටිමි
රැය මැදියම තෙක් උන්
මල් කෙමියක සිරවී සිටි අතරේ
කිටි කිටියේ
නිවෙමින් නැවත දැල්වෙන
මන්දාකිණියෙන් විසිරුණු බිඳු වාගේ
සේනාවක්ය ආවේ එක් වර
සිඟිති පහන් දල්වාගෙන
මේ සේනා දුටු උන්
තුරු තුරුළින් ලිහී ගියේ
සෙවනැලි වැස්සක් මැද පසළොස්වක
සේපාලිකා සුවදක් යටටයි වැටුනේ
ඹබරුන් සමනලුන් නොදකින නොබලන
සුදු මලකට
කුහුඹුවන්ද ආසක්ත වන හැටි
ඒ වැටීමෙන් ය දුටුවේ
උන් තවමත් මල් කෙමියේ සයනේ
කවිය බලන්න
වෙසක් සඳ දකින සඳ
ඉංගිරිසියෙන් ලියැවුණු කවියක කොරය
ඉවසිය හැකිද හදවතකට ඇති හරය
සිහලෙන් සිතන හැසිරෙන සේ ලද වරය
පිරි එක් හදක් පෝ දා සුසුමෙන් බරය
නිව්යෝකයෙ දි සේකරයන් දුටුව සඳ
හැමදා දකිමි වෙල් එළියක් සිතින් විඳ
ලන්ඩනයෙ දි හිම වැස්සේ පෙඟෙන සඳ
තවමත් ගමේ වෙල මැද්දේ පිපෙනව ද
අමතක වුනත් මව්බිම කෙනෙකුට කෙදින
මතකෙට නො එද පුන් පෝ සඳ දුටු සැණින
තොරතුරු, චන්ද්‍රිකා බිහිවන්නට කළින
ගම්මුන් ලබා ගත්තේ පුන් සඳ වෙතින
තුන්වන මහලෙ පස්වන රූපය ඇඳුන
සිදුහත් කුමරු ගිහිගෙය හැර යන ගමන
තණ්හා රති රඟා සුදු කෙල්ලන් රඟන
තේම්ස් නදී තොටළඟ නැහැ නොවැ තොරණ
බෝ මළුවේ දැල්වෙන පහනේ සිලිය
විසුරන්නේ කැරකෙන කූඩුවෙ රැළිය
සඳපානේ යව්වනයන් ලද එළිය
දැක පුන්සඳ සැඟවිණි දැයි දැන විළිය
තෙමහල් පහයෙ රැඳි දළදා දැක ගන්ට
නොව පැරණිය වන කැලණිය වැඳ ගන්ට
සිරිපා තැබූ සමනොළ ගිර නැග ගන්ට
යන්නට සිතේ සිල් සුවඳක් විඳ ගන්ට
කවිය බලන්න
නූතන උගත්තු
ජීවිතේ වපසරිය නොදැන දැන සේ දොඩන
පොලව ඇද නිසාවට වන්නමක් නෑ රඟන
ලෝකයට දෙසන බණ ගෙදර වුන් අදිති පන
පලඟැටිය සුව සොයයි ගිනිසිලෙහි දැවීගෙන
ගොඩගසාගත් දැනුම එක එකාගෙන් ලැබුන
සත්වගති මනපිරුන උගත් මහ පඬිරුවන
තනතුරට වහවැටුනු දනන්මැද දිලි හෙයින
කුනුකයට සුවසොයා පොරබඳී මර අඟන
කලියුගය නිමාවේ විපිලිසර වී නහින
මවා ප්‍රති රූපයක් තමන්, සැම රවටාන
සෙමින් යහමින් තුටින්යා නමුත් මේ ගමන
බලන් මංමලාවූ නොමිනිසුන් මිහි දෙරණ .
18/04/21
කවිය බලන්න
ආගමේ නාමයෙන් කෙරෙන ශබ්ද දුෂණ
නිහඞතාව අගය කළ
බුදුන්ට මුනින්දා කීමුත්
ඒ අගය කළ නිහඞතාව
මේඝයක් සේ සිඳ බිඳ දමමින්
නිහඞතායේ මියුරුහඞ පරයා
ශබ්ද දූෂණය උපරිම කළ
යකඩ කටින් එන පිරිත් හඞ
පන්සල් භූමියටත් එහා ගිගුම් දෙයි
පහන් සංවේගය මොට කරමින්
ආගම තරඟයක් වූ කාලයක
යහපත් ධර්ම මාර්ගය නොව
ආගමික ආධිපත්‍ය වැදගත් වූ යුගයක
උදේ සවස යකඩ කටින්
අල්ලහු අක්බාර් කියන
කටෝර හඞට තරඟයක් දීමට
නිහඞතායේ මියුරුහඞ යටපත් කොට
යකඩ කටින් දෙසවන් පුපුරන්නට
ගලා යයි සෙත් පිරිත් පද වැල්
හුදී ජනයන්ගේ මෙලොව
පරලොව වැඩ පිණිස
කවිය බලන්න
තොරණ පසුපස නිහඬ මුනිවර
මවා පුල් සත් පියුම් පෙරහර
දුර ඈත අනෝමා ගං තෙර
රජ කුමර පරපුරට මිල කර
ඉස්කෝල කාසි සොයනා රාහුල සිහිකර
සල් වනේ ජනිත වුණි සිදුහත්
දවස් තුන්සිය හැට හතර වැසුණු දොර දොර
අමුතු කරුණාවකින් ඇරී ඇරයුම් කරනායුර
එන්න කන්නැයි මතුරන අරුම මන්තර
බලා ඉන්නා දන්සැල් දොර සෝපාක කෙරේ කරුණාකර
ගයා හිස බුදු වුණි බෝසත්
දල්වා සහස් එළි පෙළහර
තොරණ පසුපස නිහඬව පොල් පුවක් ලී මුනිවර
දුගී ලිප් දල්වන කුසගිනි නිවනයුර සිහිකර
තාත්තා තොරණ කවි ගයා එනතුරු නිදිවරන දූ මුව මෙනෙහිකර
සල් වනේ පිරිනිවුණි බුදුවර
29-04-2021
කවිය බලන්න
වැඩිහිටි නිවාසය
දරු පවුල රත්තරන්
ලැබුනා මට පෙර පිණින්
රැකුණා අප සැම සතුටින්
කාලය හමාගියා සැනෙකින්
පියාගේ වියෝගය දරාගන්නට බැහැ
නිවසේ තනියම ඉන්නට බැහැ
දරුවන්ට මා දැන් වදයක් නැහැ
වැඩිහිටි නිවාසය මට සෙවනකි
තනිකම පාලුව නැහැ මට
යහළුවන් සිටිනවා මා වටා
කෑම බීමෙන් අඩුවක් නැහැ
තුන් වේලම ලැබෙයි හරි වෙලාවට
සැම සති අන්තයේම නාවට
කමක් නැහැ පුතුනි මගේ
මසකට සැරයක් ආවම ඇති
දරු පැටවුන් බලාගන්න දෙවි රැකවරණින්
කවිය බලන්න
අවුරුදු විරිදු
කොහා ගයයි බක්මස, අවුරුදු ආසිරිය
ගේ දොර හුණු ගා, පිළිගමු අවුරුදු එලිය
සුභ නැකතින් ලක්මව නව වසරක් අරබයි
ලක් දරුවන් ලෝ අවටත් ඒ බව අගයයි
අවුරුදු උදා වුන දින, එක්වෙමු සොයුරු සැමදෙන //
කෝවිල් සහ පන්සල් වෙත යමු නමදින්න
ගෞරවයෙන් බුලත් දෙමින් වැඩිහිටියන්ට
තෑගි බෝග ගණුදෙනු හොද හුවමාරුවට
අළුත් අළුත් වත් පලදා සැරසී ජයට
අවුරුදු උදා වුන දින, සතුටින් ගයමු අපි සැම //
කඹ ඇදිල්ල, ගුඩු, එල්ලේ තරග කරන්න
රබන් නාදෙ දෝංකාරේ ඇසෙයි සවනට
වෙඩි පුපුරයි සැන කෙලියකි ලක් බිම අද
අවුරුදු කුමරිය පලදියි රුවන් ඔටුන්න
අවුරුදු උදා වුන දින, කෙලියෙන් පිනවෙමු අද දින //
කැවුන්, කොකිස්, මුන් අතිරස, කිරිබත්, අලුවා
නෑදෑයින්, අසල්වැසියෝ බෙදමු හමු වෙලා
සිහල , දෙමළ අපි සැමෝම එක ලක් මවගේ
සාමෙ නමින් කිරි උතුරමු අපෙ ලංකාවේ
අවුරුදු උදා වුන දින, බැබලෙයි අපේ ලක් බිම //
උතුර, දකුණ ලෙස නොබෙදා මුළු රට තකලා
ජයහඩ නංවමු දිවයින එක්සත් කරලා
මගේ දැයයි, ඔබේ දැයයි ලෙස නොසිතන්න
අපේ දැයට නවෝදයක් උදා කරන්න
අවුරුදු උදා වුන දින , සාමය පතමු ඔබ හට//
13 අප්‍රේල් 2021
කවිය බලන්න
සුභ උපන්දිනයක් වේවා! මාලනිය
සිනමා විජිතයේ
වැජඹෙන රාජිණිය
බැල්කනි-ගැලරි සනහන
සුර ලාලනිය
හැම දන සිත්හි දිදුලන
රසවාහිනිය
සදා වාසනා
පෙම්බර මාලිනිය
එඩ්වඩ් ජයකොඩි
*(චරිතාගේ ආදරයද සමගිනි.)*
ඉගිලෙන සිතුවිලි.....
හිරු නිවී යයි හොරෙන්
සඳ නිවී යයි හෙමින්
තරු නිවෙන්නට කලින්
රැය ගෙවේවිද ඉතින්
වැහිපොදක් වී සෙමින්
ඔබ වැටෙයි ආකහෙන්
හිඳ බලා කවුලුවෙන්
විඳිමි රුව ඈතකින්....
සුළං රැල්ලක් වෙමින්
ඇදෙන විට සීරුවෙන්
වරා මල පාවෙමින්
ඇදී එයි ඈතකින්...
වලාකුල් සේදෙමින්
වැහි වැටෙන ගීතයෙන්
හිරිවැටෙන තාලයෙන්
කවි ගොතමි සීරුවෙන්.........
කවිය බලන්න
වෙසක් පැතුම
තොරණෙන් දන්සැලෙන් කැරකෙන කූඩුවකින්
වින්දා සැවොම අපමණ හැඟුමන් සතොසින්
දැකුමට නැති වුනත් වෙසඟේ සිරි අවටින්
ආයෙත් හදමු තොරන් ද දන්සැල් සමඟින්
තෙමඟුල් සිරි බලා නැහැ අවුරුදු තුනකින්
පෙරමං බලා සිටියේ ඉපිලුන සතුටින්
වෙසක් සඳ නැඟී ආවත් වලා මැදින්
පන්සල් යන්න නැති වේවිද සිල් සුවඳින්
මෙතුවක් තුනු රුවන වැන්දේ සැදැහැ සිතින්
ඒ සිත් පැතිරුවේ මෙත වෙත සියළු සතුන්
පවතින දුක් ගැහැට සව් සත දියව ගොසින්
කල පින් බෙලෙන් පතනෙමු සෙත් සැමට මෙතෙන්
බෝපත් සිලි සිලිය නැලවී ලෙළ දෙන්නේ
කිරි සුදු වෙහෙර මත රන්කොත දිලිසෙන්නේ
දෙව් බඹු පැමිණ සිතු ලෙස එහි වැඳ ගන්නේ
පන්සල අද නිහඬ ඇයි විමසිලි වන්නේ
වැන්දා මෙතෙක් කල් සැඟවී වලා ගැබේ
පින් මතු වුනා පෙර බවයේ පිරුව ඉබේ
දෙව් බඹ අපට ලැබ දුන් මේ මොහොත සුබේ
අනුමෝදන් කරන්නම් පළමු දම් සබේ
සිතු සිතු ලෙස පෙරලි පෙරලී වැඳ ගන්න
ඔබ පන්සල් නොයා අපහට ලැබ දුන්න
මහත්පලයි පිං මහිමය පිලි ගන්න
දෙව් සැප නොවේ ඔබ නිවනින් සැන සෙන්න
මේ පිං පුරෝගෙන දෙව් ලොව වැඩි විගසින්
කල පින සිතේ රඳවාගෙන සිත් සතොසින්
විශාකා අනේපිඬු වැනි දෙව් සමඟින්
ඇත මා පියන් සිහිපත් කල මැන කුළුණින්
කවිය බලන්න
සීතාම්බර පටසළු නැෂනල්
සීතම්බර පටසළු නැෂනල් අඳින
ටයි රවුමේ නොලිහෙන ගැට නිති තිබෙන
ඇන්දත් කෝට් බටහිර පිළිවෙත නොදැන
ලොක්කොද ඇතේ මිනිසුන් නොදැනා සිටින
ඔක්සිජන් නැතිව දිවි ගෙවනා මිනිසුන්
වස රස කෑම කා අපේක්ශා නිවසට වී
කොම්පැණි නොවැටි ආරක්ෂා කරගන්නේ
රුපියල බබළවා අප රට රැක ගන්නයි
සිරිලක හිසය වෙන නමකින් නැව් ගෙනෙන
කැපවී දෙරණ වෙත ඇන්ටිජනුත් බෙදන
හිරු දහසකින් මහ සෑ වත සරසවන
සැරදේ ජන මැදුන් ලක අභිමන් පුරණ
මට පෙර රට කියා හිමි හිම්න් විකුණමූ
ලෝකයම එපා කර චිං චෑං කියවමූ
වාසි නැත්නම් අපී වචනයක් නොකියමූ
උපන් මව් දේශයම දිවි පුදා රැක ගමූ.
කවිය බලන්න
සොබාව
උයනක ගහ වැල
උසවෙත මිටිවෙත
දිගවෙත කෙටිවෙත
එකට ඉපිද එකට හැදී එකට සිටී
පල වැල
රසවෙත
නො රසවෙත
එකට පල ගනී
එකට ඉදීලා
එක බිමක වැටී
බිම පොහොර කරයි
උයනක මල්පිපිලා
නොයෙක පැහැගනී
නොයෙක සුවඳ දේ
වෙනස නොමසිතා
අලුයම පිබිදේ
සවස මිලින වේ
කුරුලුරෑනවිත්
සුවඳ උරා බී
ගගන සරයි එක පියාපතක් සේ
සුවඳ හමාඑන
සෙවණ ලබා දෙන
රසය තෙමා යන
ගහ වැල මල් පල
ඔබට නුවණ දෙන
ඔබට දැනුම දෙන
මහා සිප් හලයි
තේරෙනව ද
මිණිසුනේ
කවිය බලන්න
සරුංගල්
පොඩි එකා
දුවයි මිදුලේ
ඒ මේ අත
දිවෙයි ඔහු පස්සෙන්
පුංචිම පුංචි සරුංගලයක්
සීයා බලා සිටී
පුංචි මුණුබුරා දෙස
කියයි අතීත කතාවක්
“අපි ඒ කාලේ
සරුංගල් ඇරියේ
ගමේ වෙල්යායේ
අපි හැදුවේ අපට වඩා උස සරුංගල්
ඒවා උඩ ගියා වලාකුළු ගාවට”
වගක් නැත පොඩි එකාට
දුවයි ඔහු ඒ මේ අත
මහත් සතුටින්
දිවෙයි ඔහු පස්සෙන්
පුංචිම පුංචි සරුංගලයක්
වලාකුළු දකින්නට
අහස බලන සීයා
දකී බැස යන හිර
කවිය බලන්න
මයුරන්
ටැක්සි එලවන කෙන්යානුවා
එදා මහ හරසරින් කොටියා
කියා පිළිගත් නුඹටමයි අද
පූස් පැටියා කියා සරදම්
නෝනලා සුදු ජපන් මහතුන්
පුරුදු දොඩමළු කමින් පිළිගත්
නමුදු මා හා ඇදෙන කෙටි දුර
රකී ගොළුවත නොමැත විමසුම්
මට සිනාදී නුඹව හඞවා
නුඹේ හීනය දියේ ගියදා
එතෙර සිටියද රතිඤ්ඤා හඞ
නුඹේ දෙසවන පෑරුවා නම්
කමා කල මැන පරදෙසක අප
විරසකව කිම බෝ දුරයි තව
තනිව නොව එක සොහොයුරන් ලෙස
පැනිය යුතු වැට කඩොලු මායිම්
කවිය බලන්න
බුදුන් දකිමු
කෙලෙස් මල දුරු කොට
මැදුම් පිළිවෙත හෙලි කල
බුදු සමිඳු ගේ ඒ
දහම සත්‍යයි මෙ ලොව හැම කල
ජීවිතේ ඇති අනිසි බාවය
දැනේ අද අපි සියළු දෙනටම
බොදුන් වීමට කලක් වේ නම්
මෙයයි ඒ මග සරණ යන්නට
කලත් තරඟෙට දනෝ නොයෙකුත්
පුදා පූජා බුදුන් වෙනුවෙන්
එතෙර වෙන හැටි දකින්නෙද මේ
අනේ මහ සංසාර සයුරෙන්
" යමෙක් මාගේ ධර්මය දකීද, හේ මා දකී "
ගෞතම බුදුන්
කවිය බලන්න
දළඹුවන්ට සමනලුන්ට
හිරු පහස නිසි අහර නොලබාම
මියෙන්නට හිස නැමුණ..
වියැළි කොරපොතු සැදුණ..
වසුරු සුදු පිළි පැලැඳි..
නොබලාම ,මියැදි නාමය පිදුණු..
ගසට
හිරු කිණිති එක දෙක වැටී
දිය පොද ද දිරිය පොහොරද ලැබී.
පණ ගැසී..හිස සලා
දළුලෑම
ගසෙහි වරද ද කියන්..
මලේ සුවඳ ද හැඩය නොබලාම
කොල කපන
අතු කිණිති මත රැඳුන..
කිති කවන විෂ ගතින
දළු බුදින ලඟ රැඳෙන
දළඹුවනේ...
මතු
කොල මත ම කෝෂ ද තනා
සැඟවෙලා
කලඑළි බසින
නෙත පිනන නෙක රැසින
සමනලයිනේ..
කවිය බලන්න
දිවි පියසටහන්
වනබිම මැද,
මග අසල,
සුදුවැලි මත,
දිටිමි දිවියෙකුගේ පියසටහන්
එතැන් සිට,
අදුරු වනගැබ ද,
හුදෙකලා වැව්තෙර ද
දිවියා ය........
ගිරිකුළු මත ද,
තුරුමුදුන්හි ද,
දිවියා ය........
නුදුටුවද දිවියා,
රැදුණි පියසටහන් සිතෙහි.
මැකෙනා තුරු ඒ සටහන් ,
නගරයෙහි ද,
වැඩබිමෙහි ද,
නිවසෙහි ද,
දිටිමි වන දිවියා...
The Footprints of a LEOPARD
In the middle of the Woodlands ,
On the white sandy gametrack
I beheld the sight of a LEOPARD'S footprints.....
From that moment onwards,
In the semi darkened Forest,
And on the lonely shore of the Lake,
THE LEOPARD ............
On the rocky cliffs,
And on the treetops,
THE LEOPARD .........
Though the sight of THE LEOPARD
was not beheld ,
Its footprints were etched in my mind,
Till those Footprints got erased in the course of time,
In the City,
In my Workplace ,
At my Home,
Everywhere ,
I saw that WILD LOEPARD.........
Translation: Sunethra Aluthdunne
කවිය බලන්න
නිදොස් කොට නිදහස් ද ?
සිප්සතර හදාරන
සුරතලුන් පැහැරගෙන
අවයවත් උදුරගෙන
අමු අමුවෙ මරාගෙන
රන්මසින් සැනසෙමින්
නිල ඇඳුම් හැඳ ලමින්
උජාරුව පෙන්වමින්
වැජබුණාවූ එවන්
වධකයන් සියල්ලන්
මේ දහම් දිවයිනේ
නිදොස්කොට නිදහස්ද?
එකම එක රොටියකින්
දවස පාකර හරින
වැව් ජලය දුහුවිල්ල
මැද ගෙවන ජීවිතය
කටුකබව මැදින් වුව
බදුගෙවන
ඇටසැකිලි
මෙවන්වූ ඇටසැකිලි
ගෙවන බදු පුදන ලේ
සොරකමින් සොරාගත්
සුදුඇදුම් චෞරයන්
සියලුදෙන පින්බිමේ
නිදොස්කොට නිදහස්ය!
මදපවන ලා සිසිල
සිහිල් සිසිලැල් ජලය
රටට දායාදකළ
මහා ගස්වැල් සමග
පොලවටද වදදෙමින්
වැලි බොරළු වනසමින්
සියලු දේ විකුණමින්
විනාසය අභිමුවට
දිවයිනම ගෙනයමින්
සිටින මේ සතුරනුත්
නිදොස්කොට නිදහස්ය!
තුලාවෙන් අද දිනේ
නිදහසක් ලැබුවමුත්
සතර රියනක් යටට
සුදුසුකම් ලබනවිට
සිහිවේවි! දුක්වේවි!
ඇසින් කඳුළක් යාවි
පසුතැවිල්ලෙන් ඔබේ
හදවතම පුපුරාවි!
උපන්දේශයට නුඹ
කල විපත් සිහිවේවි
නුඹේ දරුමුනුබුරන්
ඉතිරිකර නුඹ ගියත්
ස්වභාවධර්මයේ
සියලු හදවත්වලින්
හෙලන මහශාපයෙන්
ඔවුන් ගිනිගෙන දැවී
දැවි දැවී පිච්චෙමින්
අපහාස උපහාස
විඳලමින්
වැනසේවි!
ආත්මය කිසිවිටෙක
සමාවක් කිසිදිනෙක
නුඹට හිමිනොවෙන්නට
තුලාවෙන් විසඳාවි
එදින නුඹ මේ ලෙසට
නිදොස්කොට නිදහස්ද?
කවිය බලන්න
වැදි වරුණ
එල්ලා ගහේ - ගෙන කොළ අත්තක් හොල්ලා
ඉල්ලා පිහිට නෑයකුනට වැඳපල්ලා
හොල්ලා දුන්න හයි හත්තිය බලපල්ලා
අල්ලා ඉව, දුවයි පළමුව දඩ බල්ලා
දාලා ඊතලය දුනුදිය ගෙන මානා
ගෝණා මරා කදබැඳගන්නට ඕනා
සාදා තලප දඩමස් හොද්දක් ඒදා
කෑ දා සියලු සාගිනි දුරුවෙයි සෝදා
උලමෙක් කෑගසයි වනයේ මහ රෑක
කිරි කොරහක් නටන්නට ලකුණකි ඒක
රැහැකට වින කටින්නට හැකිවෙද කාට
එකමුතුකමයි හයි හත්තිය හැමදාට
කාලා වියලි දඩ මස් මී පැණි ගාලා
බීලා රනවරා පොල්කට්ටේ දාලා
නාලා දියවලෙන් මාළුත් බිලි බාලා
දෝළා මොටද බල මංගච්චන ලීලා
පැලේ පහණ දන්නේ බල කැකුණ තෙලේ
මැලේ ගිනි දුටොත් "බොටකඳයා"ද සැලේ
දළේ තරම පෙන්නා සඳ එළිය දිලේ
කොළේ මොටද ගහ දන්නා අයට කැලේ.
කවිය බලන්න
තුන්වරක් බුදුන් වැඩි දේශයක්.... අද
පටන් ගනිති පන්සිල් සෙත් පිරිත් වලින්
ඉවර කරයි මහ රෑ තුන් සූත්තරෙන්
එලිවෙන තුරා ඇසෙනා මහ පිරිත් වලින්
සිරිලක පින් කෙතක් දැන් විය යුතුය ඉතින්
ටීවී රේඩියෝ බණ පැය විසිහතරේ
සාදු නාද හඬ දෙව්ලොවටත් පැතිරේ
සැදැහැවතුන් කල කියනා දේ අතරේ
කවදා එතර වේවිද මේ දුක් සසරේ
මිනී මැරුම් දූෂණ රට පුරාවට
ජනයා මත් කුඩට ඇබ්බැහි සුරාවට
රට විකිනෙයි බුදු සසුනත් විනාසෙට
සුදුසුම කලයි වඩිනට සිව් වතාවට
කවිය බලන්න
මවගෙ අවුරුදු
ගමේ ඇත කීවාට අවුරුදු
නැහැනෙ මට ලකයක් කිසිත්
දොළොස් මහ මගෙ පාළු වී ගියෙ
නුඹ ගමෙන් ගිය දා පටන්
ටිකෙන් ටික ගත දිරා යද්දී
ඇදුම් කැක්කුම් වැඩි වෙතත්
මුණුබුරාගේ කතා හින්දයි
හිතේ ඇත්තේ පණ ටිකක්
තාත්තත් දැන් ලෙඩ ගානෙමයි
මට උදව්වක් නැහැ කිසිත්
තනිව වෙහෙසුනෙ කන්න නුඹලට
දෙන්න මට හැකි උපරිමෙන්
සෙයිලමෙන් නුඹ එන නිසාමයි
කරුන්කා ටික විකුණුවෙත්
ඇඟිළි තවමත් ඇදුම් කනවා
පුවක් තලලා මහ රැයෙත්
ලබන කෝණමෙ නුඹ දකින්නට
මට අහිමි වුණොතින් වරම්
මුණුබුරාගේ රඟ බලන්නට
පුතේ ඩිංගක් නැවතියන්
කවිය බලන්න
ඇමරිකාව, ඉන්දියාව, චීනය සහ මුතු ඇටය.
සයුර මැද කිඳි කිඳී
නායි දිය කිඳුරියක්
ඇගේ පියොයුරු දෙසම
දල්වා ම ඇස් හයකි
එකෙක් බිම දනගාන
සොළොස් මස් බිලින්දෙකි
අලුත් රහ කිරි ටිකක්
උරන්නට හිතක් ඇති
ජොකෙක් ඇඳි තරුණයෙක්
දන ඔබා වැල්ල මත
නිදන්නට සයනයක්
පතයි ඒ පිරුණු ලැම
සළු වියන වෙළෙන්දෙකි
බෙදුම් කට්ටක් රැගෙන
ඇගේ තං කපන්න ට
නිසි මිම්ම ගනු පිණිස
ඇගේ මින් දරු සියන්
උං දාන පොරි සපති
ලං වෙන්ඩ ඉඩ හරිති
කිරි නොබොති ගී ගයති
කවිය බලන්න
යසෝදරාවතේ සිත්ගත් කවි
පාළු වේය වැඩියෝතින් මෙ අප රට
සාලු සළු ද පැළඳී රන් කඩු අතට
වේලු බුදු බවට බාදා නොකර මට
යාළු ඇමති අසු සරසා දියන් මට
පියාඹා ගිය වස්තුව..
එලිවෙන උදේ අඳුරට ඔහු සොඳුරු වත
මුසුවෙන හැටි දුටිමි සිට දොර පඩිය මත
ඉර මොන තැන උනත් කළුවර පිරුණි හිත
හිස්වුන මහත් ලෝකය නැවතිලා ඇත
හැඳි ගෑරුප්පු පත පොත පිරි මළු තුනක
කදිමට ඇහුරුණා ඔහු රෙදි පිළි නොයෙක
රැඳි කලමණා අතරේ ඉඩ ඇති තැනක
බැඳි මවු පෙම ද අසුරා තැබුවෙමි අනෙක
දණ බිම ගසා මා වැඳ සමුගත් නැකත
කණ අගුළුත් වැටී ඝනඳුරු විය දසත
ගෙන දෝතින් බදා හිස සිපගත් මොහොත
පණ ටික දියවි දියවී ගැලුවා දෙනෙත
සීයට දෙසීයක් මව් යුතුකම් සපිරී
ආයිත් ඉතිං මා ළඟ මොනවද ඉතිරී
යායුතු ගමන යන්නට ඔබ සතු දහිරී
ඕනෑ තරම් ඇති බව දන්නෙමි පැතිරී
වෙන්වී ගියත් මගෙ අත්තටු යටින් මිදී
පියඹා යනු රිසිව ඉහලට ඉහල ඇදී
දල්වා දෑස් මග ඉමි ආදරෙන් බැඳී
සෙනෙහේ තියෙයි හදවත නැවතුනත් රැඳී
April / 2021
කවිය බලන්න
කුඩේ වැඩේ සහ ලෙඩේ
සවසක ඇවිදයන විට දුම්රියපලට
මා ගොඩවුනා අගුපිලකට වැස්සකට
නොතෙමී යන්න කුඩ කබලක් නොමැතිකොට
හූල්ලමින් උන්නා කුඩ ඇති අයට
මොරසූරන වැස්ස ටිකටික වැඩිවෙනවා
කුඩයක් නැතිව මම තනිවම ලතවෙනවා
මේ අතරෙදී පෙරකල පිං මතුවෙනවා
කුඩයක් ඇති ලඳක් මා අසලට එනවා
වැස්සේ දෙදෙනෙකුට තනි කුඩයෙන් යන්න
බැරිබව කියා මා හැදුවා නවතින්න
එනමුත් අටේ දුම්රිය අල්ලාගන්න
මට සිදුවුනා ඇගෙ ඇරයුම පිලිගන්න
වැස්සේ දෙදෙනාම තනි කුඩයෙන් යනවා
ඇඳසිටි ඇඳුම් මොහොතින් වැසි දිය බොනවා
නොතෙමෙන්නට කියා ඇය මට ලංවෙනවා
ලංවී විගස මල්සර හීයක් දෙනවා
අකුණු ගසනවිට හරියට බයයි කියා
තුරුලුවුනා මට උත්තර නැතිව ගියා
නොසිතුව විලස ගතසිත කිතිකැවී ගියා
පැතුවෙමි වැස්ස තව වැහැපන් අකුණු තියා
මොරසූරන වැස්ස දිගටම වැස්සාය
උණුසුම් හාදු වැස්සකටත් තෙමුනාය
අඳුරෙම ඇයව නිවසට ඇරලූවාය
අන්තිම දුම්රියත් මට මගහැරුනාය
සුන්දර හැඩකාර මා දුටු බොලඳ ලියා
වයස දහඅටයි ටියුෂන් පංති ගියා
ඉඳහිට හමුවුනත් ගෙදරට හොරෙන් මෙයා
වැහි නැති දවසටත් අපි එක කුඩේ ගියා
වසරක් ගෙවී මහ වැස්සක ලකුණු තියා
වැහිපොද ආ නිසා කඩයක පිලට ගියා
අදහා ගන්න බැරිවිය මගෙ සිකුරුලියා
වෙන තරුණයෙක් සමගින් එක කුඩේ ගියා
කවිය බලන්න
රිදියාගම සේවයට සුදුස්සෙක්.........!!
අනේ නෝනාවරුනි! මහත්වරුනි! මේ බලන්න
ටිකක් මට කන් දෙන්න
රුපියල් පනහෙ පඩියට වැඩ කරපු
කොම්පැණි කාලෙ බස් ඩ්‍රයිවර් කෙනෙක් මම.
මේ තියෙන්නෙ මගෙ ලයිසන් එක
පෙර කර්ම දෝසෙකින්
අනේ නැති උනා ඒ රස්සාව මට.
නෝනාවරුනි! මහත්වරුනි!
රුපියල් දෙසීයක් මාසෙකට
ආණඩුවෙ පිං පඩි ලබනවා දැන් මම.
මේ තියෙන්නෙ මගෙ පිං පඩි කාඩ් එක.
මහ යුද්ද වකවානුවෙ
සිංගප්පූරුවෙ-බුරුමයෙ-මලයාවෙ
යුද හමුදාවෙත් සේවය කළා මම
සොල්දාදුවෙක් හැටියට.
මේ තියෙන්නෙ ජොහොරේ නගරෙදි
යුනිෆෝම් ඇඳලා ගත්ත
මගෙ ලස්සන ෆොටෝ එක.
ඒ කාලෙ අවුරුදු විසි හතරක ලස්සන ඉලංදාරියෙක් මම.
අද අඬු කැඩුණු මැස්සෙක්
කුණු ගොඩවල් ඇහිඳ කකා
මහ පාරේ ගාටනවා.
අවලංගු කාසියක් වගේ මම - වලංගු කාසි හිඟාගෙන
ටිං කබලක් පිටිපස්සෙ - දුක් අඳෝනා කියාගෙන
මහ පාරේ ගාටනවා අද.
ඔන්න ඔහොමයි මහතුනේ - මිනිහෙකුගෙ ජීවිතේ
මීටත් වැඩිය එපා මිනිහෙක් ජරා ජීර්ණ වෙන්න
මීටත් වැඩිය එපා මිනිහෙක් ජරා ජීර්ණ වෙන්න ඉඩ දෙන්න
එපා මාව නිකරුනේ වළලන්න ඉඩ දෙන්න.
ඉඳා මෙන්න රුපියලක් !
ඉඳා මෙන්න රුපියල් දෙකක් !
ඉඳා මෙන්න ගනිං - අරගෙන කාපන් පාන් කෑල්ලක් !!
කියා දෙන්න හිතලා බලලා
ඔබේ හිතට එකඟ නම්
මෙන්න මගෙ ටිං කබල.
කවිය බලන්න
පන්හිඳ සිඳුනේ
පන්හිඳ සිඳුනේ
යළිනම් කවිමල් නොපිපේ
ඇය බලාසිටිවී.........
මගේ කවිය ලියවී..... ඉවරයි .... මගේ කවිය ලියවී ඉවරයි...
අසරු සැනින් අසනියසේ
ඇස් රිදවා ඈ .......
අර්චනිය මල් නෙලමින්
නඳුන් උයනේ ඈ ...
අස් රිදවා ගී ගායනා
මගේ කවිය ඈ ...
ස්වාමයේ විමන් ගිමන්
පුරාසැරු ඈ ......
දිගන්තයේ හුදකලාව
ඇයම සොයන ඈ.....
කවි ඉල්ලන
මා රිදවා
මගේ කවිය ඈ
මගේ කවිය ලියවී....... ඉවරයි ....
කවිය බලන්න
අවුරුදු කුමරියයි - මවුගෙ සිනහවයි
(මීට හැටපස් වසරකට පෙර මා දුටු අලුත් අවුරුදු දිනයෙන් අප සිංහල බසේ නව පිබිදීම ඇරඹුනි.
"පැය විසි හතරකින් සිංහල" යන පාඨය මත රජයක් දිනූ ජනයා ඵදින උත්සවය අති ගෝෂාකාරීව පැවත්වූහ.
ඵ් සමගින් ආ බුද්ධ ජයන්තිය සහ "සිංහල පමණයි පනත" විසින් සීයයට අටක් පමණක් ජනයා කථාකල
ඉංග්‍රිසි බසේ ග්‍රහණයෙන් අප මවුබස මුදාගන්නට හැකිවිය. දැන නොදැන හෝ සෑම ගෙදරකම මෑණියන්
භාවිතා කරන සිංහල මවුබස නව පිබිදීමට තුඩුදුන්නේය. ඵය සැමරීමට මව පිළිබඳව මෙම කවිය නිර්මානය කලෙමි.
වසර දශක ගනනක් පසුවුනෝතින්
ජීවන ගමන පිළිගන්නට වේ සතොසින්.
කළුවර නිලෙන් දිලෙනා
ඔබ කෙස් කළඹ
සුළඟේ වැනෙයි වර්ණව
අළු වලාවක.
නිසසල මුහුදේ ගිලි චන්ද්‍රයා
ඔබ මුහුණ
ඵහි මතුවෙවී රැළී
සමුද්‍රයේ මෙන් ම
කළුවන් රිදීයෙන් දිලිසෙන
නෙත් යුවල
ඔබටත් හොරෙන්
මැලවී යන්නටත් හැක
මිහිරි හඞක් නගනා
ඔබ ගේ මුඛයේ
ගීත ශ්‍රව්‍ය එලෙසින්
නොතිබෙන්න හැක
ඵනමුත් ඔබෙ දෙතොලෙන්
එන සිනහව ට
හැකිවෙයි ඔබෙ දරුවන්ගෙ දරුවන් ට
හඞනා විට සිඟිති සිනහා නගන්න ට
වසර දශක ගණනක් පසුවුනෝතින්
කවිය බලන්න
නොයනු මැන හැරදමා විගසේ!
සියුමැලිය,කඩිසරය, නොපෙනීම එන්නේ,
තාලයට එන්නේ, ම දිවි රැකදෙන්නේ
අල්ලන්න හැදු විගස, ලිස්සමින් යන්නේ,
සයුරෙ රැලි බිඳි නැගී එන විලස එන්නේ ,
බිලිඳු නිදි දුව වෙතට යවන සේ නලවන්නේ,
එවිට සුලු මොහොතකට ඇවිත් යලි යන්නේ,
සැම දේම අනිති බව නොවෙද පවසන්නේ?
ඔබම නොව එන්නේ, සොයුරුපෙල එන්නේ ,
සිසිලකින් එන්නේ, උණුසුම්ද දෙන්නේ!
සීරුවෙන් එන්නේ, කඩිනමින් එන්නේ,
තෙතමනය දෙන්නේ, වියලිවද එන්නේ,
ඔය ගමනෙ කෙලවරෙදි සියුර අවසන් බවද දන්නේ,
එහෙත් එය සිතෙන සඳ දැවි දැවී යන්නේ,
අනිත්‍ය ය, විරාගය නිරෝධය වටහන්ට ඔබ දරන වෙර, අගය මින්නේ,
සුසුම මා හැරදමා යනු නොයනු අද හෙටම,
නැණ පහන පුබුදන්න,
මඳ කලක් ඉවසන්න ,
සගය, සුරතින් රැගෙන ගෙනියන්න ඉන්පසුව,
නැවත දුක ගොනු පිරුණු ගමනේ,
සසර සිළු නිවී ගිය, නිති සුවය ගෙනෙන ඒ නිවනේ!
නිති සුවය ගෙනෙන ඒ නිවනේ!!!!
කවිය බලන්න
එතෙරට දරුවන් යවා තනිවූ පියෙකුගේ අඳෝනාව
එක කූඩුවක හුන් මයෙ පැටවුන් දෙන්නා
සැම දින ඇමතුවත් හද සෙනෙහස පෙන්නා
ගත දැවටුන සුවඳ නැති දිවි මග ඉන්නා
දිය නැති වාලුකාවක තනි වූ වැන්නා
අම්මගෙ ලය පලා එන කිරි බුන්නාට
තියෙන හැම දෙයක් දුන්නෙත් දෙන්නාට
අලුතෙන් කැදළි තැනුමට පිය මැන්නාට
අහිතක් හිතෙන් නැහැ නෙත දිය පැන්නාට
සවි බල ගිලී යයි නොදැනිම සිරුර කෙරෙන්
මගෙ ළඟ ඉන්න නොකියමි කිසි දිනක සැරෙන්
අවසන් හුස්ම පොද හෙලනා තැනක වැරෙන්
දිය බිංදුවක් දෙන්නට නුඹ හනික වරෙන්
කවිය බලන්න
අන්තිම කැමති ඉල්ලීම
බූරුවෙක් වන්න... !
පුතුනි මගේ
නිදි වරන්න,
අල්ප විවේකය අගය කරන්න
නොරැඳී ගමන් කරන්න ........
ව්‍යාඝ්‍රයකු වන්න...!
පුතුනි මගේ ...
අනෙකාගේ නෙත් මානයෙන් වහන් වී
ගොදුර පැමිණෙන තෙක්
ඔබේ මානයේ ම
නොසෙල් වී රැඳී සිටින්න
සිහි තබා ගන්න
හිඟන්නෙක් වන්න....!
පුතුනි මගේ....
අයැදීම ,
ආයාචනය ,
සහ නොමැත්ත තුලින් .
ඔබ වෙනුවෙන්
සිටින්නා
හඳුනා ගන්න
නිවසක් වන්න......!
පුතුනි මගේ .....
ඔබේ හිස,
කෙළින් කොට
ඇතුළු වීමටත් ,
පිට වීමටත්
හැකි පරිදි
උලුවහුව ඔබම තනා ගත්
නිවසක ජීවත් වීමට
වගබලා ගන්න.......
බිත්තරයක් වන්න .......!
පුතුනි මගේ .....
පිටතින් බිඳී යෑම ....
විනාශයක් බවත්*
ඇතුළතින් බිඳී යෑම
ජයග්‍රහණයක් බවත් *
තේරුම්ගෙන
බිඳී යන්න ........
දේදුන්නක් සේ බැබළෙන්න...!
පුතුනි මගේ ....
ස්වයං ප්‍රභාවක් නො ව
හේතුඵල ක්ෂණයක් බව
සිහි තබා,
නිරහංකාර වන්න........
ඉදිබුවෙකු වන්න ......!
පුතුනි මගේ ....
ප්‍රඥාවේ...
ශක්තිමත්
කටුව තුළ සැඟවෙන්න
නිරායාශයෙන් ඔබව ...
ආඥාවන්තයින්ගෙන් සුරක්ෂිත වනු ඇත ....
පසුපස ට ගමන් කරන්න ...!
පුතුනි මගේ .......
ඔබට , ඔබ හමුවේනම්?
ඔබේ නිවැරදි බව
පෙන්වාදිම උදෙසා
පසු පසට උව ......
ගමන් කරන්න
වේදනාව මනාසේ අත් විදින්න ..!
පුතුනි මගේ .....
එවිට පමණෙකි ,
සුවපත් කරන්නාගේ අගය
ඔබට වැටහෙනු ඇත්තේ
ඔබ සුවපත් වී
ලොව සුවපත් කරන්නෙකු වන්න ....!!
පුතුනි මගේ ......
කවිය බලන්න
නිනව්වක් නැති ඉලව්වක්
මළගමට වැඩලා නමක්
බැලූ බැල්මට රන් කඳක්
වාහනෙත් හරි ඉස්තරම්
සසර බැඳි කණුවක් තරම්
කවුද මේ මළගිය කෙනා
මුවාකර මුව
නමාගෙන හිස
බලන් සකිසඳ
කැරකෙනා ඇස
සැනින් වැඩියා මහ පතක්
ඒක කීමට යයි දිනක්
උඩින් පල්ලෙන් බලනවා මිස
කොයින්දෝ ඕවට ඉඩක්
තවත් මේ වගෙ කී පොලක්
නම් වැලක්, නම් වැලක්
නම් වැල,
අනත් නා රජ සේ දිගක්
අහවලාගේ අහවලා
අහවලාගේ අහවලා
අහවලාගේ අහවලා
අහවලා, අහවලා ගැන මිස
දෑත් බැඳගත්, ඇස් පියාගත්
උපාසක ගැන නෑ වගක්
අඩුම ගානේ කොම්බුවක්
වෙනින් කාගෙද
මළ ගෙයක්
වැරැදිලා වැඩියාද මන්දා
උන්දැගේ හිතටත් බරක්
නමට කිව්වෙත් වෙන එකක්
හත්තිලව්වේ මේ ඉලව් ගේ
මගේ නොව, කාගෙද එකක්
අනේ මොකටද මේ ඇබිත්තට
ඔන්න ඔහෙ ඉන්නවා මිසක්
අරින්නේ නෑ මම කටක්...
කවිය බලන්න
වැරදි පැණයකි
ඔහු අසයි :
"හරිහම්බ කරල ඇති සෑහෙන්න
ඔය තරම් කාලයක් පිටරටක!
නිරුත්තර වෙමි.
අසනු මැන මගෙන් :
පාර තොට වැරදිලා
ජීවිතෙන් පැරදිලා
නීතියෙන් විසඳුමක් සොයා ආ
මිනිසෙකුට
පිළිසරණ වූ අයුරු
අසනු මැන මගෙන් :
ළඳ බොළඳ ළමා වියෙ
මිනිස් ගොදුරක් වෙලා
නීතියෙන් විසඳුමක් සොයා ආ
ගැහැණියට
පිළිසරණ වූ අයුරු
දින ගණන් සති ගණන්
නොනැවතී කතා කළ හැකිය මට
කැප කෙරූ හැටි දිවිය
සහනයක් ලැබ දෙන්න
නීතියේ පිළිසරණ පතා ආ
දුප්පතුන්ට
අසරණයින්ට
ගණිකාවන්ට
බේබද්දන්ට
සිඟන්නන්ට
සිරකරුවන්ට
සරණාගතයින්ට
ආදිවාසීන්ට
අමිල වූ අනගි වූ
ඔවුන්ගේ තුති වදන්
පමණි එක්රැස් කළේ
පුරා සතලිස් වසක්
කවිය බලන්න
"මව්බිම නොසිටියත් අවුරුදු කැවුනේය"!
"සීගල්" හොටෙන් කූජනයක්............ ඇසුනේය,
"රෙඩ්වුඩ්" ගසක එරබදුමල්.............. පිපුනේය,
"ඩෝල්"ඇවරියක් මේසයෙ................ තිබුනේය,
මව්බිම නොසිටියත් අවුරුදු............ ගෙවුනේය!
"ඔලිව්" තෙලෙන් මුං කැවුමක්.......... බැදුනේය,
"ඩිම්බල් සෙට්" එකෙන් කොකිසක්... හැදුනේය,
"කැල් රෝසින්" කිරිබතකුත්................ ඉදුනේය,
නැකතට නැතත් අවුරුද්දත්............. කැවුනේය!
රබන් හඬක් ගී තැටියෙන්................ ඇසුනේය,
ඉටිපන්දමක් මේසයමත.................... දිළුනේය,
කිරිබත්, කැවුම් සිරිතට ඔහෙ.......... ගිළුනේය,
මව්බිම අවුරුද්ද මතකෙට.............. නැගුනේය!
"ලූඩෝ බෝඩ්" එක මේසෙට............. වැටුනේය,
පංච නැතත් කැටයක් එහි................ තිබුනේය,
සුද්දෙකු හඬතලනු ගුවනින්............. ඇසුනේය,
ඔන්චිළි වාරමට මගෙ හිත................. පිදුනේය!
බුලතක් නැතත්, සිරිතක් හිත........... රැඳුනේය,
හිස් දෑතකින් වැඩිහිටියන්.................. පිදුනේය,
නුපුරුදු සඳක් රෑ අහසේ..................... දිළුනේය,
නිකමට වගේ ඒ හඳදෙස................. බැළුනේය!
"සීගල්"--මෙහි වසන පක්ෂියෙක්.
"රෙඩ්වුඩ්"-- ගස් වර්ගයක්.
"ඩෝල්"-- කෙසෙල් වර්ගයක්.
"ටිම්බල් සෙට්"-- මැක්සිකන් ජාතිකයින් කොකිස් වැනි කෑමක් සෑදීමට ගන්නා අච්චුවක්.
"කැල් රෝස්" සුදු සහල් වර්ගයක්.
"ලූඩෝ"-- පංච දැමීමට සමාන ක්‍රීඩාවක්.
කවිය බලන්න
ගාන්ධර්වයා කව්ද
අසාධාරණය තරඟය
ඔහු තරඟ නොකරන සඳ
අසරණ බව හැඟේ
එනමුත් දිනිය යුතුමය
පරාජය පිළිගෙනද ඔහු
මනාව ඇටවු උගුලක් වෙද
කොටු කරගන්න නිතරඟෙන්
මුව පොව්වෙක් වගේ
ගුරු මුශ්ඨියෙන් තොරව දුන් ශිල්පය
අභ්‍යාස කළෙමි දිවා රෑ දෙකේ
වයමි තාරුණ්‍යයේ රාවය දැන්
සතුටේ ඉමිහිරි නාදය
ඔහු මා දෙස බලමින් වැයුවද
මා ඒ දෑස් දෙස නොබලමි
නුපුරුදුය වෙණ නද අද
සසල වුනිදෝ මසිත
පිය සෙනෙහස නොවෙද මේ නද
මා වෙනුවෙන්ම තැනූවෙද හිටි වන
අසරණ බව හැඟුණිද යළි
අත්හල නොහැක තරඟය
කවිය බලන්න
හුදෙකලාව
සඳින් සඳ ගෙවීලා
අතු අඟින් මල් වරයි
වසන්තය නිමා වී
ගිම්හානයට බරයි.
සිහින සිතිවිලි මතක
තරු අතර සැරිසරයි
පියවි නෙත් පියළි මත
කඳුලු මල් පුබුදුවයි.
දෙනෙත් තුල සැරිසැරුව
සෙනෙහසකි පිවිතුරුව
සැඬ සුළඟෙ දැවටිලා
යළි යළිත් සිත බරයි.
කවිය බලන්න
නොකෙළෙමි වරදක්
ලොව නිදියද්දී
රහසින් පිපිලා
උදයේ පරවෙන
අරුමය දකිනට
කලුවර මහ රෑ
උනිමි නිදිවරා
ඒ කඩුපුල් මල
පිපෙන තුරා
පරවෙන්නට පෙර
නටුවෙන් ගලවා
පිදු වෙමි සමිඳුට
පහන් සිතින්
20/04/2021
කවිය බලන්න
පියාණෙනි
මේ කඳු මුදුන් මේ ගහ කොල පරිසරය
ඔබ නැති සොවින් මද සුලඟද නිසසලය
අවිහින්සකයි ඔබ සැම විට නිවැරදිය
මතු බවයදිත් අප්පච්චිම විය යුතුය
වරකදි සිනාසෙයි වරකදි තරහ ගනියි
දුක්කම්කටොලු සැමවිට සිත දරා ගනියි
සුන්දර මිනිස් ගතිගුන සිත වෙලා ගනියි
ඔබ හිනැහුනේ අප සැම පිරිවරා ගෙනයි
අවුරුදුවලට අප ගම රට එනදාට
ඉවසිය නොහැකි සතුටක් තිබුනා ඔබට
අප එනතෙක් මග බල බල හිටි හැටි සිතට
මතකෙට නැගෙන විට කදුලක් එයි ඇසට
සමුගෙන ගියත් මේ බවයෙදි එකට සිට
ඒ ගුණ සුවඳ අප අතරින් නොයන විට
සසරින් සසර නැවතත් හමුවෙමු දිගට
පතනෙමි අම නිවන ලැබ ගන්නට ඔබට
කවිය බලන්න
නමෝ නමෝ බුද්ධ දිවාකරාය !
මවක් රක්නා ලෙස එකම පුතු
තමන් ප්‍රාණය නොසලකා හැර
සියල් සතුනට වඩන ලෙස මෙත
ලොවට වදහළ කුළුණු සාගර
අවිද්‍යාවෙන් අඳුරු සක්වළ
එකලු කළ භගවත් දිවා කර
දොහොත් මුදුනත තබා වඳිනෙමි
උදය දහවල රැයද එක යුර
Just as a mother protects her only child
Even at the risk of her life
One should cultivate boundless clemency
Towards all beings
Said the Awakened Master
With oceans of compassion.
Then the entire universe illuminated
by his words, banishing the darkness
of hatred and ignorance.
As my only refuge:
Homage to the Blessed One!
In the morning, noon and
Evening, all the same!
කවිය බලන්න
යසෝධරා......
බුදු බව පතලා ගිහි ගෙය හැරියේ
ලෝකය ගැන දුක හිතිලා නම්
ඉන් එක බිඳුවක් පතිනිය වෙනුවෙන්
නුදුන්න හේතුව කියන් ස්වාමිනී
සංසාරේ හැම දුකක් ම කිව්වා
මතකද ලංවී ඇයට එදා
ඇයිද නොකීවේ යන බව රහසින්
කියන්න තිබුනා හිස අතගා
ලේන කුලේ සිට පාරමි පිරුවා
බුදුන් කරන්නට මතු සිදුහත්
කිඳුරිය වීලා හැඩුහැටි මතකද
හිමිගේ පණනල ගැහෙන තුරා
වෙසතුරු දන් දුන් දරුවන් සොය සොය
හැඬු තරම් මම මිහිකත සේ
තවමත් මව්වරු සොයමින් හඬනව
දරුවන් දා ගිය සිදුහත් ලා...
කවිය බලන්න
කෙටි සංවාදයක්
රවීන්ද්‍ර රන්දෙණිය කිවිඳා පහත සදහන් කවි දෙක 30/04/21 අප වෙත විනෝදය පිණිස එවා තිබිණි. එඩ්වඩ් ජයකොඩි කිවිඳු ඔහු වෙත එවූ කවියක්ද එයට ඔහු විසින් ලියු පිළිතුරු කවියක්ද විය.
අදයි පෝය බක් මාසේ
සදත් එබෙයි හොර රාසේ
කොරෝනා සමග වාසේ
වසා ගනිමු කට-නාසේ
ඉතින් මාත් මෙහෙම ලියුවැයි කියමුකො
වසා ගතත් කට-නාසේ
සුලගින් එනවලු රහසේ
සුවසේ ඉදිමුද කෙලෙසේ
ලොව මරු සමඟින් වාසේ
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහනද මදාරා පරසතු මල් පතර
කරැ පුද වඳින රැඳි මුණි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
සමන් දිව්‍යරාජයා සුරඟනන් සමඟින්, ප්‍රභාමත්
මදාරා හා පරසතු මල් පූජා කොට වඳින්නා වූ
බුදුරජානන් වහන්සේ ගේ නෙලුම් මලක්වන්
ශ්‍රී පාදය සටහන් වූ සමනොළ කන්ද
නැගෙනහිරින් පෙනේ.
කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි
නිරිඳුට ඔවා දෙන
ගුණ නැණැති මැතිවරන් නැත හොත්
අපමණ ඉසුරැතත්
නැතක් විරිදුන් අවැඩ පැමිණේ
රජ තුමාට අවවාද දීමට ගුණ නුවණ ඇති මන්ත්‍රීවරුන්
නැති නම්, කො පමණ වස්තුව තිබුණත් නොයෙක්
සතුරන් ගෙන් කරදර ඇති වේ.
කවිය බලන්න
Let us play ටොයිස් කඩ
කතරගම පුංචි උං සෙල්ලමට කඩදමං
වට්ටි කඩ පෙට්ටි කඩ ටොයිස් කඩ උං ඇරං
අනාගත පරපුරේ සෙයියාව පතුරමිං
බජාර් එක පුරවන්න සැරසෙන්නෙ දැං ඉඳං
පොඩි කෙල්ලො දොදොල් කඩ ආප්පත් බදිනවා
චන්ඩි උං පාරෙ මැද පාකිනුත් හොයනවා
තව එකෙක් වීලරේ බට් එකක් අදිනවා
හවස් ජාමෙට ඇවිත් බෝතලේ ගහනවා
නගරයේ පුංචි උං let us play කියනවා
You be the patient and I'll be the doctor
You be the judge and I'll be the proctor
ගමේ උං අනාථයි නගරෙ උං දිනනවා
ජප්පොංද බයියංද ටොයියංද දැං ඉතිං
සාදුකිං පෙලෙන උං දැං ඉතිං නැගිටියං
බත් පැකට් එක අරං බෝතලේ කටගහං
බස් එකේ නැග වරෙං අරගලේ විකුනපං
මේ සියල්ලම බලං දෑස් දොලහක් ඇරං
මයුරෙක්ගෙ කරපිටිං ගෑනු දෙන්නෙක් අරං
දැක මගේ පොඩි එකා ගහනවා සෙල් ෆියෙං
සයිකලේ කෙල්ලො දෙන්නෙක් තියං ඌ ලඟිං
කවිය බලන්න
දැනුනා උණුහුමක් ගත් විට තුරුලු කර
බැතින් දෙව් මැදුර වෙත ගිය ඒ දවස
සිතින් සිහි කලෙත් සමිඳුන් ගුණ වෙසෙස
පවින් සසර කළ වරදද උනෙ මෙදොස
ඉතින් සමිඳුනේ මට නිරයකි නිවස
අඳුරු වළා පෙල අහසට නැගුනාද
රුදුරු මර සෙනග රහසෙම ඇදුනාද
ගොදුරු වෙන්ට මොන වරදක් තරලාද
නපුරු ගිනි ජාල වට කොට දැවුනාද
අඳුනාගන්ට බැරි තරමට මුහුණුවර
තිබුණා දැවී දෙව් මැදුරේ අසල දොර
දැනුනා උණුහුමක් ගත් විට තුරුලු කර
වැටුනා බිමට නැති විය ගත රැඳුනු වෙර
වරදක් නොකළ කුහුඹුවෙකුට තරම් අනේ
නපුරක් හිතක නැති මගෙ දරු පැටව් උනේ
හෙණයක් හිස මතට දෙවියනි පාත් වුනේ
මෙහෙමත් දුකක් සතෙකුටවත් නොවන් වනේ
දාහක් හිතේ දුක් ගින්දර දරා ගෙන
කාටත් හොරෙන් ඒ කඳුලැලි වසා ගෙන
ආවත් නොආවත් එයි දැයි හිතා ගෙන
තාමත් ඉන්නවා මග දෙස බලා ගෙන
පාස්කු ප්‍රහාරයෙන් සිය බිරිඳ හා දරු දෙදෙනාද
අහිමි වූ පියෙක් කාදිනල්තුමාට පැවසූ දුක් බර
කතාවකින් කම්පිත වූ හදේ ලියවුනු කවියයි මේ.
කවිය බලන්න
පසළොස්වක සඳ ගිනි අරගෙන
(නවසිය) හැත්තෑවේ මැයි මාසේ
පසළොස්වක පෝය දවසේ
ඔබටත් මතකද මන්දා
සඳ පැයුවේ නිල් පාටින්
සඳ වටේට රතු පාටින්
වලල්ලක් ද දිස්වුණා
නිල් පැහැ ගත් සඳ කැලුමින් - අලුත්ම මල් සිය ගනනක්
හැත්තෑ දශකය පුරාම - පිපි සුවඳ විසිරුනා
ජනසිත් ඒ මල් සුවඳින් - ඔකඳ වෙලා පිබිදුනා
සමහර ඒ මල් අදටත් - නොම පරවී - සුවඳ හමයි
(නවසිය) අසුව අනූව වෙද්දී
අර ලස්සන නිල් පැහැ සඳ - වටේට වූ රතු වලල්ල
ගිනි අරගෙන සඳ දැවෙද්දී - සඳේ සිසිල ගිනියම්වි
රබර් ටයර් ගිනි ගත්තා - ඉන්ද්‍රකීලයන් ......
දඩස් ගාලා බිම වැටුනා
ගිනියම් වූ සඳේ සිසිල - අදටත් නැහැ සිසිල් වුනේ
නිල් පාටින් පුර සඳ යලි - කවදා හෝ පායන දා
සතර දෙසින් සැළලිහිණින් - දියවන්නා ඔය මහ මැදුරට
පියඹා වී - විහඟ තුඩින් රැගෙන යමක්
ඒ ....
සඳෙස් කවක් නොව
කාලයක්ම වල් වැදී…….. අපෙන් සැඟවුණු .........
ස්වර්ණ වර්ණ වූ ..... නීතී පොතේ පිටුව බැගින්…
02 අප්‍රේල් 2021
කවිය බලන්න
රැගෙන සුදු සැරයටිය එන්නද ?
නැගෙන බැසයන හිරුට අවනත දනන් දිවයන සෙයිලමේ
වයමි වස්දඬු තාල සනසා සහස් දන බස් නැවතුමේ
යුවතියේ මියැසියට පෙම්බැඳ රැඳෙන මගෙ හඬ මායිමේ
නින්ද නැති මගෙ අන්ධ දෑසට වඩිනු කීම රෑ මැදියමේ?
පතා සිල්ලර කාසි වස්දඬු රාව නැඟුවත් මාවතේ
හැඟුම් මල්වර වෙලා යදිනට ලැගුම් ඉල්ලා ඔය සිතේ
වදන් ගලපා නොකීවත් ආදරය දළුලන හදවතේ
දැනෙයි පෙම්සුව අන්ධ අපටත් නොදුටුවත් රූ සිරි වතේ
අඳුරු ලොවකට එලිය දෙන්නට පහන් සීල සේ දැල්විලා
එන්න ඇරැයුම් කරම්දෝ සිත හිඳී දිවරෑ කල් බලා
දෙනෙත හිමි සවනකට නුපුරුදු හදේ සත්සර හඬවලා
රැගෙන සුදු සැරයටිය එන්නද යන්න දිවි මග එක්වෙලා?
කවිය බලන්න
අලුත් (නැති) අවුරුදු කවි
නැති බැරි අය ලතැවෙන විට උහුලන බඩගිනි
මැති ඇමතිල ලොකු නිලමෙල කදිමට වැජඹුනි
නිති සුබ පැතුමන් ලැබුනට බොරු වැදි බණ වැනි
ඉතිරෙන්නේ නැත හැමටම එක ලෙස කිරි පැනි
බුද රවි ගුරු සඳු කිවි කුජ සිකුරු ගෙනන මතය
පුද පිලිවෙත විලස කල ද ලැබුන සෙතක් නැතය
තද අපලය යොමු කෙරුවේ පොඩි මිනිසුන් වෙතය
හොඳ නැකතක් නැත පසුගිය වසරම නොනැගතය
දෙවැට දිගේ රතු එරබුදු බැද්ද පුරා ඉද්ද
රසට කැවුම් කොකිස් තිබේ විස පොල් තෙල් බැද්ද
නයට ගත්තෙ තෑගි දෙන්න අද අම්මගෙ රෙද්ද
කුමට අපට එලඹුනා ද සිංහල අවුරුද්ද
පේන දෙයක් නැති උනාට අන වින කිය කියා
ගාන තෙසිය හැට පස් දින හිරු වටකර ගියා
මීන ටිකක් අහනවා ද මකියන බස ඔයා
ඕන රාශියක හිටපන් මේෂ වෙතට නොයා
කවිය බලන්න
කෝඩු පෙම්බස්
කල්පයක් බලා ඉඳ , ලද සොදුරු ඇසිල්ලේ
පෙනේ නලියන කැලුම් මුදු සීත මදනලේ
දෝත පා තම ලබැඳි හොවන ලෙස තුරුල්ලේ
අතු පතර දඟ කරයි අවකාශ වලල්ලේ
දිරා ගිය ඉපල් ලඟ නිදි කිරූ වලාවන්
නිසල හිස් අහස යට ගෙවා දැමු සැදෑවන්
වැහි කෝඩ පිරිමදින හිතේ ඇති දයාවන්
දළු ලාන තුරු අතර රඟන නව කලාවන්
තුෂර පිනි කැට වැටේ නාවන්න නව දල්ල
සිහින් පාවඩ එලේ සිප ගන්න තණ නිල්ල
මිහිරි කිංකිනි වැයේ ඉපදෙනා හද සොල්ල
දෙව් විමන් පරදනා අසිරිමත් මහි කෙල්ල
ලියවැල් ඇහැරිලා තුරු හිමි බදාගෙන
පීදෙන කුසුමේ ලෙන්ගතුකම දරාගෙන
විහඟ ගීත නාදෙන් හද පුරෝගෙන
දිලිහෙයි ලාඉරේ රැස් ටික උලාගෙන
සෙනෙහසින් දෝරෙ යන වසන්තයෙ කතාවන්
වලාකුළු රසවිඳියි දැනිලදෝ සෙයාවන්
මල් පුසුඹ ඉව කරන පවන් පෙති ලතාවන්
තවරන්නෙ හදින් හද අලුත් වන හිනාවන්
නැවුම් හුස්මක පහස විඳ ගන්න අරඅදින
සඳ ලතා අවදියෙන් තරු පාරෙ ඉඟි කරන
වැල් පාලම් කොනේ සෙවනැල්ලෙ තනි මකන
කෝඩු පෙම්බස් ඇසේ කාලෙකින් මුණ ගැසුන
කවිය බලන්න
ඉර්දි පෑමක අගය
තවත් එක් සමයක
කැටුව සඝ ගන සොඳ
අප බුදුන් ගෝතම
ගඟක් වෙත වැඩියහ
හිරන්මති මහ ගඟ
අපහසුය තරණය
එනතෙක් රැඳෙනු විය
තොටියා උන් එතෙර
එකල්හිම එතැනට
ආහ කොහෙදෝ යන
බමුණු පිරිසක් එක
සතු ඉර්දි තෙද බල
බමුණන් ආ විලස
පාරුවක් නොසොයම
ජල මත පාවෙමින
ඉර්දියෙන් විය එතෙර
විකුම් දැකුමෙන් එම
බුදු පුතුන් සිතනුව
නොබැරි යනු එලෙසින
ලැජ්ජාවකි ඉතින
නොව පාවී එගොඩ
ඉර්දි බල පාමින
කිම කරුණ රැඳෙනුව
මුණි වෙතින් විමසුව
බුදුන් අප ගෝතම
පිළිතුරක් නොදෙමින
නිහඬයෙන් සිටියහ
එනතෙක්ම පාරුව
පාවෙමින් එතෙරට
පාරුවෙන් ගිය කළ
විමසීය ගාස්තුව
මුනිඳු තොටියාගෙන
එක මස්සකි එය
තොටියාගෙ පිළිතුර
එම වදන් සිත් ගෙන
මුණි මෙලෙස වදහළ
ඉර්දි බල විකුමක
අගය වෙද මස්සක
නොවටීද එලෙසට
සිතනු මැන ගැඹුරෙන
* මස්ස යනු ඉතා අඩු වටිනාකමකින් යුත්
පැරණි කාසියකි. එහි වටිනාකම
කහවණුවෙන් 1/4ක් ලෙසද දැක්වේ.
කවිය බලන්න
Summer Days
the leaves blow in the wind, as the birds sing
the grass swings, as the bugs fly about
the world is at peace, no doubt
as the sun slowly goes down,
the skies colours paint the town
plants from all around start to blossom
big and small, thin and wide
the people start heading home, to where they reside
Shara Samarakoon
Grade 7
Hume Anglican Grammar School
Mickleham, VIC Australia
කවිය බලන්න
සරා සඳ පායලා අහසේ
සරා සඳ පායලා අහසේ වෙසක් සිරියයි සමිඳුනේ
ඉද්ද වතු සුදු ඇහැරිලා දැන් හරිම සුවඳයි ගෙමිදුලේ
සාදු නාදය පැතිරිලා යයි ගම වටේටම පන්සලේ
බුදුන් වැඩියා වගේ පේනව අපෙ ගමේ බුදු මන්දිරේ
බෝ මලුව හරි සිසිලසයි අද බෝ පතින් එන මඳ නලේ
වැලි මලුවේ මල් පිපී වාගෙයි පහන් සිලු දිලෙනා රඟේ
ගතින් තැන්පත් පිරිස් එකතුව කරයි පින්කම් පන්සලේ
ඇසෙනවා බන මඩුවේ බන පද රෑ පුරාවම පෝ දිනේ
සැදැහැවතුනුත් වඳින පුදනා නැතේ අඩුවක් පන්සලේ
සැවොම පතනා එකම පැතුමක් දුරලු කාටත් මේ බවේ
වැරදිලා කොතැනදෝ ඇත්තේ දෙසනවද අප සමිඳුනේ
සිතේ පැවතුම හඳුන ගන්නට බැරුවදෝ මේ ගනඳුරේ
කවිය බලන්න
පළමු කිරි සිහිනය
රන් හුයෙන් බැඳ නුඹේ සෙවණෙහි
පතිනි වූ ඒ සුබ දිනේ ....
පැතූ පැතුමන් සඵල වූයේ
ඈත භවයක පැතු ලෙසේ .....
චණ්ඩ මාරුත හමා ඇවිදින්
දෙදරුවත් අපෙ පෙම මෙසේ .....
නුඹට බැඳි පෙම සදා රකිනෙමි
මමත් බිම්බා මව් වගේ .....
පමා වී ගැලු ධවල බිඳුවට
නිගා කරමින් නොසිතු සේ .....
සිව් වසක පෙම් පහන නිවුනේ
නීති දෙවඟන ඉදිරියේ .....
කිසිම දිනෙකදි ශාප නොකරමි
තවම නුඹ මගෙ හදවතේ .....
දෑස් පියෙනා තුරුම රකිනෙමි
පළමු කිරි සිහිනය මගේ .....
කවිය බලන්න
මකා ඇත්දැයි කියා...
"හිතාගෙන ඇති නේද
හරි ලොකු වැඩක් ය කියල
අම්ම ආව උදේ ම
හොයාගෙන මාව
කිවුවා නේද ගිහින්
ගැහුවා කියල මම
නැහැදිච්ච කම ඔක්කොටොම වැඩිය
ගහනවට කැමති නෑ කිවුවෙ අම්මලා
ඒක තමයි වෙලා තියෙන්නේ ඔය
ඔහොම ම තමයි නොගහ හැදුව ම
තේරෙයි අම්මලා පුතාලා සේරටොම
හිරේ විලංගුවේ වැටුණු දවසට
හා
කියනවා පුළුවන් නං
එක්කෙනෙක් ගැන
නොගහ හදලා
ලොකු තැනකට ගිය"
"ගොඩක් නං දන්නෙ නෑ ටීච
ඒත්
අහල තියෙනව
එක්කෙනෙක් ගැන "
එක්කෙනෙක් ?
කියනව බලන්ඩ ?
මොනව කරපු කෙනෙක් ද ?
මැරයෙක් වෙන්න ඇති එකත් එකට ම"
"පොඩි කාලෙ ගුටි නොකා
ලොකු වෙලා
බුදු වුණු කෙනෙක් ගැන"
කවිය බලන්න
රහසිගත වැළපීම
(නිමිත්ත - මියගිය සැමියාගේ මෘතදේහය හඳුනා ගෙන
බාර ගැනීමට නීත්‍යානුකූල බිරිඳ පැමිණිය යුතුය )
ගෙදර හඳ හැර දමා සොයා ගිය විට තරු
හිමි වුගේ අන්තිමේ වැලඳ ගන්නට මරු
නුඹේ ඇස් ඇති ගෙදර පැටවූ ටික මගේ දරු
හොයද්දී තාත්තා කියන්නට වෙයි බොරු
රෝහලේ හිටිය නුඹ බලන්නත් ආවාලු
මිදි ඇපල් පලතුරු ද වහන් වී කැව්වාලු
මා එවූ බත් පතේ අඩුපාඩු දුටුවාලු
සදහටම නුඹ ලඟින් හිදින්නෙමි කීවාලු
කාසි ගස්වල පිපුණු මලේ සුවඳක් කොහිද
හුස්ම නැති මළකදට මගේ සුසුමක් මොටද
වැළපෙන්න වුනි නිබඳ රැකගන්න නුඹේ සුවඳ
රැකගන්න බැරි ගසක කූඩු තැනුවේ කිමද
සරුව පිත්තල ලොවක් සොඳුරු යැයි හිතුවාට
මිරිඟුවක පැටලිලා ගොදුරු විය මැරුවාට
"නීති කඩදාසියට පමණි" මා වුවාට
මැරුණු කල "දේහයේ අයිතිකම" නෝනාට
2021/04/06
කවිය බලන්න
ඇයට පිදු පෙම..
කිරි කොතලේ කිරි ඉහිරී..
මුළු ලෝකෙම කිරි පැහැවී
කිරි පාටින් බබළන සඳ
හිස් කොතලය දුටු මනතින්
මගෙ යටි සිත දොඩමළු විය
"කොතලේ කිරි ඉහිරුණාට....
මුළු ලෝකෙම කිරිපාටනෙ..."
කවිය බලන්න
බැසයාම....!!!!
කාටත් හොරෙන්
නොකියාම අදත් ඇවිදින්.......
අනුන්ගේ අහසේ පෙළහර පාන්න
තමුන්ගේ වගේ......
දවස පුරාම
දෙතිස් මහා දස වදයම දී.....
හැන්දෑ අහසේ බැස යන අපූරුව
කිසිත් නොවූ ගානට.....
කවිය බලන්න
මුනිවත රකින්නම්
අමුත්තක් මගෙ සිතට දැනෙනවා ලියන්නට බැහැ එයද කෙටියෙන්
චමත්කාරය පහවෙලා ගොස් අඳුර පැතිරෙයි ඉතා හයියෙන්
සමත් වේවිද හදවතේ දුක ලියා සැනසෙනු පිණිස කවියෙන්
මමත් සුරතට පෑන ගත්තේ කඳුළ දිය කර යවන අටියෙන්
ඉබේ නෙතඟට ගලන කඳුළ ට ඔහේ යන්නට ඉඩ හරින්නම්
ඔබේ වදනින් තවත් රිදෙනව ඒ නිසා ඈතටම වෙන්නම්
තිබේ සදහට ඔබගෙ රුපය මැකි යන්නට ඉඩ නොදෙන්නම්
ලැබේ කියලා හිතන තෙක් ඔබ නිහඬ ලෙස මුනිවත රකින්නම්
කවිය බලන්න
තරු දෙකක් මියෙන තුරු
වසර දාහක් නිදාගෙන උන්
බෙහෙත් සුවඳක් නාස් කුහරෙන්
ක්ලෝමයක තත්සරය බිඳගෙන
මධ්‍ය මස්තිෂ්කයට ඇතුළුව
ශිරා,ධමනි ද ඉරා ගෙන ගොස්
හෘදයේ අඩසඳ කපාටය
අසල නැවතී අඳෝනා දෙයි
අපිරිසිදු හා පිරිසිදු ද වූ
රුධිර තරලය දැන් ගලා යයි.....
කිංස්ලි මාවත... මහා රෝහල
සුදු කබාය ද වෙද නලාව ද
නිහඬ කල්පෙට තිතක් තබලා
ඉතින් දැන්නම් කතා කළ යුතුමැයි...
ඇඳුම් අතරට සිර ව හිඳිනා
රිදී පැහැ නුඹෙ වෙද නලාවෙන්
මගේ හෘදය ගැහෙන හැටි අද
ළැම පසාරුව ළය ට තබමින්
විඳිය ගත යුතුමැයි...
ඉකිබිඳුම් හඬ නුඹ ඇසිය යුතුමැයි...
බෙහෙත් සුවඳට අදත් බියවී
අත්හැරිය මහරෝහලට මම
අපේ මරණයෙ සහතිකය දැන්
ගන්න යා යුතුමැයි..
අකල් මරණෙට වැසුණු නහයෙන්
අනේ මා අද හුස්ම ගත යුතුමැයි......
ටෙලිපතිය මහ රාත්‍රිය බිඳලයි....
හෘදයේ මැද රිදෙන පරිපථ
රුධිර මිශ්‍රව මිය ඇදෙන තුරු
ගලා යා යුතුමැයි..
ඉතින් අඩසඳ කපාටය නම්
වැසිය යුතු නෑ මැයි....
කවිය බලන්න
හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු......
ගුරුපාර අමතකද පුංචි කඩයක් දැමුණු
තවම මතකයෙ ඇත්ද අම්මාට ගුලි ගැහුණු
ගතින් අපි දුර වුණත් මුදූ හතකින් එවුණු
ඒ සොයුරු උණුහුමට හිත පිරෙයි නොම දැමුණු
අම්මාගේ සාරියක් ඇදන් ගුරුවරිය වුණු
පන්තියේ දග මල්ල සොයන්නෙමි මැරෙන තුරු
තැන්පත්ව අද දිනේ දකින ඔබ සිටිනයුරු
හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු
පතිනියක වී එදා කැදැල්ලෙන් යන අයුරු
දකින්නට බෑ කියා හැංගිලා උන්නාලු
ඔබේ හඩ මතුවෙලා ඇමතුමක් ලැබෙනතුරු
අක්කා නිදි නෑ තාම මැදියමත් ගෙවෙනතුරු
කවිය බලන්න
වෙසක් මද නල සිතින් විඳමින්
හංදියේ පටු පාර අද්දර
බට පඳුරු බර තොග කපාගෙන
පතුරු කැටයම් අච්චු අතරේ
පාට දැල් කොළ බිම එළාගෙන
ලොකුවට ම තෙමඟුලට හැඩවෙයි
උණ තීරු සිරි සිරියෙ ගැලවෙයි
බක් හුළං මැකි මැකී යද්දී
වෙසක් කාලෙත් ළඟ ම එළඹෙයි
ඉටිමලුත් විකුණන්න තිබුණා
චීන කරදහි පහන් එක්කම
පොළේ හරියට සෙනඟ පිරුණා
පහන්, දැල් කොළ, කතුරු ගන්නම
තැනින් තැන දන්සැල් ද තිබුණා
රෑ දවල් වෙනසකට නැතිවම
යෝධ බත්, කැඳ, අවුළු පිසුණා
පෝලිමක් පෝලිමක් ගාණට
අපිත් හැදුවා රැස් වළල්ලක්
උඩහ කූඩුව තාරකාවක්
ආන් ටවුමට මෙහා තිබුණලු
වණ්ණුපථ ජාතකෙන් තොරණක්
පැටව් අට දහයකුත් එක්කම
කැරකෙන්න කූඩුවක් හදලා
පුංචි උන් ඇස් කන් අයාගෙන
බලා හිටියලු එතන පිරිලා
මිදුලෙ සව් රැළි සුළඟෙ පාවෙයි
පුරුදු බොදු ගී තැටිය කැරකෙයි
පහන් වැට නිවි නිවී ඇවිලෙයි
ගෙයින් ගෙට දැඩි අඳුර දුරැවෙයි
අනියතය ලෝ දහම පැවසූ
බුදු වදන් දෙසවනේ ගැවසෙයි
වෙසක් මද නල සිතින් විඳගෙන
තෙමඟුලට පිළිවෙතින් සැරසෙයි..
කවිය බලන්න
සීගිරි ස්වප්නය
ගීසිරි සීගිරි රමණී
සීගිරි ආලකමන්දාවේ
පෙරදා කැටපත් පවුරේ
ඔබ ලියා තැබූ ආදර ගී ...........
පදවැල් මිහිරි ...........සැනසෙමි හදිනී ...........
බූදල්මි මා යලි පැමිණි .............
සුලලිත කෝමල හසිනි ............
ඉන්ද්‍රචාප බැම නයනී ...........
නිල් මානෙල් මල් දෝත දරා.......
බුදු පුදයට යන ලඳුනී ..........
පුන් පියයුරු බරනී ........
පුලුලුකුලද සලිත වුනි ........
ඔබගේ යුග නෙත් සිහිල් දියේ
අමා සුවය විඳිමි .....
ඔබේ මිහිරි පෙම් ඕවිල්ලේ
නැලවෙමි ගී ගයමී .....
ආදර පානා ඔබ දිගැසී .....
සුරත පතා ආ බූදල්මි මා
තනි වූ මා මේ විසල් වනේ
ඔබගේ ප්‍රේමෙන් මන් මත් වේ
පා යුග ඔසවන විට දි ඔබේ
දහසක් මල් පිපුනා
සීගිරි ලඳුනේ ඔබම පියඹ කොට
මා කැන්දා යන්නා ......
පහන් තරුව වී විසල් වනේ
ලොවම එළිය කරනා
ඔබේ නීල නෙතු සිලිලාරේ
මා විකසිත වෙන්නම්
සිහිනිඟ වට ඇඳි සේල උනා
පැන් සනහාලමු පොකුණු දියේ
ඔබේ රන්දර රන් නෙළුම් පතේ
පිනි බිඳුවක් වී දිදුලන්නම්
නිල් කට්රොල් මල් වැට වට පිපුණා
ඔබේ රුවට තව උවම් නැතී
දෙබරුන් බඹරුන් ගහන කැලේ
මේ සළුවත් පළඳිනු මැනවි
ඔබ හා මා අතිනත ගන්නා කල
සීගිරි පර්වත හඬා වැටේ
ඒ කඳුලේ පිණි පොද වැස්සේ
කැටපත් පවුරේ ගී මැලවේ
කවිය බලන්න
අන් වෙසක් කවි
හීන කැළතෙන සොඳුරු මොහොතයි අලුත් අවුරුදු මධුවිතේ
පේලි ගැන්වී සීත විඳගමු කීරි ගැන්වෙන හදවතේ
වෙසක් අහසට ඇවිත් සිටියද සඳත් ඇයි මේ නිදිමතේ
මීන රාශිය චීන රාශිය කළේ කවුරුද දියනෙතේ
චීන බොදු දද අහස අවුරා පවුරු නංවාලන දිනක්
චීන අටපට්ටම් නෙළුම් මල් තාරුකා මැද රැලි ගොඩක්
චීන දන්සල් වඳින්නට යන හීනයට නැතුවද ඉඩක්
චීන රහතුන් වඩින මඟ වෙ ද අන් වෙසක් ගන්නා වෙසක්
බලන් හිටියැකි මකර තොරණේ ගිනි පිඹින මකරිඳු දිහා
එ ගිනි සිළු වැද බුබුළු නැංවෙන ‘හිනාවෙන බුදු’ රුව දිහා
චීන ගායන වෘන්ද හෙළුවෙන් භක්ති ගී රස ඉහ ඉහා
ගයන ගැයුමන් අසිරි වින්දැකි චීන දුකඳුළු පිහ පිහා
කවිය බලන්න
වෙසක් සඳත් සැඟවෙයිදෝ...
නීල,පීත ලෝහිත
ෂඩ් වර්ණ රශ්මි ධාරාවෝ
චන්ද්‍ර මන්ඩලේ සැඟවී
වළා පෙළට මුවා වෙලා
කඳුළු පොදක් සේ සඳ දිය
මහ පොළොවට පතිත
කරයි දෝ අරුණෙහි
උතුම් වෙසක් පුන් පෝදා
විශ්ව කොරෝනා බියකරු
කඩතිරයට මුවාවෙලා
කඩ පිල් සල්පිල් වැහිලා
පාට පාට ධජ දුරලා
දන්සල් නෙත් ඉම් හැරලා
මුලු නුවරම පාලුවෙලා
දෙක තුනකට වඩා නොවැඩි
වැඩි පුර හෙම බල්බ නොමැති
තොරන් කූඩු ළඟ ඉඩ ඇති
තරමටවත් සෙනඟක් නැති
කිමැ යි නොදන්නෙමි ලෝකෙට
උතුම් දිනක් සිහි ගන්වන
වෙසක් පෝය නිසල වෙලා
බලධරයින් බල ගන්වන
නීති අතර කොටු වීලා
පේළි පේළි පන්සල් යන
උවැසි උවැසියෝ ලෝකයෙ
නිවහන් තුළ එකතු වෙලා
බුදුන් වදින තෙල් මල් ගෙන
දසුන් දසන්තයෙ රජවී
කිමැ යි නොදන්නෙමි ලෝකය
තැන තැන හුදෙකලා වෙලා
තෙමඟුල් සිහි කරන දිනේ
ගව්තම බුදුපියාණනේ!
රන් වැලි සෑ කොත මුදුනින්
දිවැස් හෙලනු මැන ආයෙත්
මේ හෙළ රන් අනුරපුරෙන්
විස්වයටම සහන දිදී
වසන්ගතේ බිය දුරලා
තුන් බිය සමහන් කරලා
අති උත්තම මේ සුන්දර
මහා වෙසක් පුන් පෝදා
19.4.2021
කවිය බලන්න
චෙරි මල් පිරුණාට
චෙරි මල් පීදෙන්න
කලියෙන් මාහද
අහස වගේ නිල්පාට
පැහැදිලියි ආදරෙයි
රෝස පාටින් වෙලී
පිපුණු චෙරි මල් වලට
ලස්සනයි පාලාතම
මගේ ආලය වගේ
සීතල උනාට පාන්දරට
බඹරු ඇදෙනවා
චෙරි මල් වලට
නුඹ ආවා වගේම
සුවඳ නම් විඳින්නට
රොන් උරා නටන්නට
උන් කැමති මල්වලට
පියඹන්න ඉක්මනට
එනතුරා මා ළඟට
චෙවි චේස් මල් වත්තෙ
චෙරි මලක් වාගේම
ඉන්නෙමි මග බලන්
වසන්තය විදින්නට
වොෂින්ටන් නගරයේ
ඇවිඳුමුද අත් පටලා
නිදහසේ ආදරෙන්....
ඇල්හැන්ඩ්‍රෝ ඇහුනාද?
මේ මරියානා විදරයිද?
චෙරි මල් පිරුණට
එකම එක මලකි මම
කවිය බලන්න
එයා අවොත්
පරණ පෙම්වතිය මම දන්නවා
හිත ඇතුලෙ තවම ඇති හිතනවා
ආවොතින් නිවස දොර අරිනවා
කතාවට පොඩි ඉඩක් හරිනවා
ඉක්මනින් ගිහින් තේ හදනවා
කුස්සියේ ඉඳ අහන් ඉන්නවා
කතා හඬ නැවතුනොත් ඇහෙනවා
ඇත්තමයි හැන්ද බිම දමනවා
උගුර පාදා ටිකක් කහිනවා
විටින් විට සාලයට එබෙනවා
අනේ ගමනක් යන්න තියෙනවා
ආයේ දවසක එන්න කියනවා
නොදන්නව වගේ මම ඉන්නවා
එයා හරි හොඳයි මම කියනවා
හිනාවක් ආවොතින් දන්නවා
සත්තමයි මම නාඩි ගනිනවා
ටිකක් විමසිල්ලෙන්ම ඉන්නවා
තනි නොකර තුරුළු කර ගන්නවා
මම හොඳයි තේරෙන්න අරිනවා
අපිත් එහෙ යමු කියලා කියනවා
2021/4
කවිය බලන්න
🗙



















































































