ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතක

මතක

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2023-November

තබා ලස්සන සොඳුරු සැමරුම් යටිම හිත පතුලේ

හිනා අව්වක් ගෙනත් හලලා පුබුද පෙති කැකුළේ

කියා ගැස්සෙන සොඳුරු පදවැල් දවටලා දෙතොලේ

ගියා සුවඳක් හිමින් තවරා තවම හද ඇවිලේ

කතා කිය කිය විටක ගෙව්වත් අඩ පැයක් මැනලා

මහා කල්පය සිටිය තරමට හිතක බර රැඳිලා

කලා සපිරුණු හඳක් පිපිලත් අමාවක ලබලා

හිතා ගනු බැහැ මතක මෙතරම් ඇයි නපුරු කියලා

ගොතා එක එක හුයක දවටා හිමි හිමින් අහුලා

ඉතා මිහිරැති මතක මල් පෙති සුළඟ හා යවලා

ලබා ගන්නට වහා සැනසුම මගෙම මග සොයලා

පලා යන්නෙමි බොහෝ ඈතට තිතක් සේ මැකිලා