ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පැතුම..!

පැතුම..!

තිලිණි ලක්ශාන්ති - මහනුවර
2023-November

කදුශිඛර නගින්නට අවැසි විට දිරි දෙන්න,
මග හොදින් පෙනෙන විට තනිව ඒ මග යන්න,
මගේ නොවේ නුඹ දකින සිහින හැම ජය ගන්න,
සවිය වෙමි හැම වෙලේ මගේ දෝනි ළඟ ඉන්න..!

සුමිතුරු වෙසින් එන නරුමයින් දැක ගන්න,
සවි ඇතත් තෙත පිරුණු හදවතක් ලැබ ගන්න,
නුඹෙ දිවියෙ නුඹ පතන සුබ සිහින ලැබ ගන්න,
මගෙ පුතේ දිරිය වෙමි ළඟ නැතත් ළඟ ඉන්න..!

මද පවනේ සිසිලසත් මුදු ලෙසින් විද ගන්න,
දිරි අවැසි උන් ළඟදි අයෝමය සවි දෙන්න,
හොද නරක සැම දේම සම සිතින් විද ගන්න,
මගෙ දුවේ නුඹට හැකි මේ ලොවේ දුර යන්න..!

දුටු තැනදි වැරද්දක් හරි මගට යලි ගන්න,
හැම තැනදි සම සිතින් හරිම තැන සිට ගන්න,
නුඹෙ සිහින වාගේම අනුන්ගෙත් දුක දන්න,
පුතුට දුර වැඩි නොවේ මාවතේ ජය ගන්න..!

තිලිනි උත්පලා ලක්ශාන්ති
මහනුවර