ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වසුරු පිඩෙන් පංඳු කෙළිමු

වසුරු පිඩෙන් පංඳු කෙළිමු

ගාමිණී හේරත්
2023-November

පල් හොරුන් ගතු කියන
පල් හොරුන් නඩු අසන
පල් හොරුන් රජ කරන
පල් හොරුන් තීන්දු දෙන
මේ අපේ සිරිලකයි

වැටක් නියරත් ගොයම් බුදින
තකට තකට බුං හොරු රැල
වෙට්ටු දමා කට්ට ගහන
පට්ට බොරුව රජ කරවන
මේ අපේ සිරිලකයි

එහෙන් මෙහෙට මෙහෙන් එහෙට
පැන පැන යන ගෙම්බො රැලක්
නටන ගයන වයන රඟන
වසුරු පිඩෙන් පංඳු කෙළින
මේ අපේ සිරිලකයි

සත් ටැඹියෝ රජ වී ගෙන
ප්‍රාථමිකයෝ දෙසුම් කරන
කහ සිවුරුත් පොරවාගෙන
මස් වැද්දොත් සිල් අරගත්
මේ අපේ සිරිලකයි