ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හඳුනයි ඈ මා

හඳුනයි ඈ මා

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2023-December

මගෙ පුංචි කවිකාරී
ගෙන සිඟිති
පා පොඩි දෑතට
ගී කියයි
සුරතල් කිරිල්ලක සේ
තාලෙට
මා නොදත්
සියුමැලි බසකින්

බුබුළු දමයි එවිට
රිදී පෙණ
ටිකිරි තොල්
පෙති මතින්

විසිරෙන සේ
අඩක් පිපුණු
සෙව්වන්දියක් මත
අරුණෝදේ පිණි බිංදු
විසිරෙයි කඳුළු කැට
රෝස පැහැ කොපුල් මත
බඩගිනිවී හඬන විට

බලා හිඳියි
විටෙක
ඇසට ඇස දී
මා දෙස
නිල් පබළු දෑසින්
විමසන්නා සේ
මා කවුරුන් ද
යන වග

නිදිබර මොහොතක
ඈ මුදු සවන සිප
“මං දෝණිගේ අත්තම්මා “යි
සෙමෙන් මා
මුමුණන විට
සිනාසෙයි ඇය
මිහිරි ඇස් පියාගෙන
හඳුනාගත් සේ
මා කවුරුන් ද
යන වග…