ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල් ආරියරතන පඬිරුවනට

සුනිල් ආරියරතන පඬිරුවනට

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
2023-July

තරුද නිදන මහරෑ… නිදමි මහද නිඳි නෑ
ගීපද ලියු ඒ පඬි සිහිවන්නේ තනිව නිදන මේ රෑ

නාබර වියෙ මට මේ පද ඇසුනේ පෙම් ගී ගයමින් සිටින ගමන්,
මහලුව ගෙවමින් සිටිනා අදටත් ගැලපෙයි, සැමි අද ඇඳේ ගිලන්.

සුනිල අරිය රතනා,… ලියන මෙවැනි පද, මා
සවනෙ රැඳෙන සඳ හද දුවයන්නේ සොඳුරු ලොවකට නෙ මා

ගී පද ලියනට දස් කම් පානා ලොවටම පඬුරකී නොවැ එතුමා,
එතනින් හරබර තිර රචනයටත් යොමුවුනි ලක්දිව ලොවට ගෙනා

ලබන දිවියෙ හෙට මා…., පතමි හදින් නිති මා
අරිය රතන සුර අතින් ලියන ගී පදයට හඬ දෙමි මා,

හඬ විසිරෙන විට වටහා ගනු මැන
නන්දාවන් නොව ගයන ගැයුම්
ක්ෂීර සාගරය කැලබෙයි එදිනට
සමාව අයදෙම් තුමෙනි උතුම්

අහස උසට පදවැල්, ලියන එඅත ඔබෙ රන්,
බුදුගුන, මව් ගුන, ආලය, විරහව
රස ගුලියකි පද වැල්

සකුරා මල් පිපිලාද කියලයි බැලුවේ දොරකඩ අමුතු රසක්
අහසයි පොලොවයි සේ අනන්ත බව කීවේ කාටද? එය පැනයක්

තරුද නිදන මහරෑ, පතම් හදෙන් අනෙ මා
නැන ගුණ සපිරුනු පඬිතුම ඔබ හට සුවය සැපත සැමඳා,
පුදමි තුටින් අද මා!
පුදමි තුටින් අද මා !