ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිරකරුවා දුටු හීනය

සිරකරුවා දුටු හීනය

ලූෂන් බුලත්සිංහල
2021-April

නීති තර්ක විතර්කයෙන්
උසාවි ප්‍රජාව තහවුරු කළා – විනිසුරු අසුනට
“දිළිඳුකමත් අපරාධයකී”
යුක්තිය අයැද සිටි දිළිඳු මිනිසාට
නියම විය සිර දඬුවම්
නීතියේ රැහැනට හසුවූ නිසා
හොරෙන් පොල් කැඩූ වරදට
කුසගිනි නිවන්න දරුවන්ගේ

සිරගතවූ දා රාත්‍රියේ
අඳුරු දුගඳ සිර කුටියේ
යන්තම් ඇහැ පියවුණු යාමයේ
අසරණ සිරකරුට නින්දෙන් පෙනුණා
මෙන්න මේ නපුරු හීනේ

යුක්තියේ දෙවඟන අහසින් වැටුනා සේ
යුක්ති ධර්මයේ මහ දෙවොල අබියස
දෙවඟන පිළිමය කඩා බිම ඇද දමලා
සියුමැලි අතැඟිලි අත් පා වෙන් කරලා
දෙවඟන පිළිමය අතක දරා සිටි
නීති යුක්ති දණ්ඩනයේ කඩුව නමා
කෑලිවලට කඩලා
අතකින් ගෙන සිටි තරාදිය
යුක්ති සාධාරණයේ
කුඩු පට්ටම් කරලා
හිස සුන් පිළිම කඳ උඩුබැලිවී වගුරයි ලේ
පිළිමයේ හිස නෑ දකින්නට
පෙනෙන තෙක් මානයේ

මේ කුරිරු බිහිසුණු විපත කළවුන් උදම්වෙමින්
ඔල්වරසන් ගී ගයමින් නටමින්
කිරිබත් කනවා යක්ස පෙරේත පිසාච වේසයෙන්
බිම දමන්න බැරි තරම් මහ විසල් තුරු අතු පතරේ

රෑන් රෑන් ඇවිදින් ගී නද පතුරනවා
සුදු රෙදි හොරු කුරුල්ලෝ
සැරසී කලු දිග පිහාටු ලෝගු වලින්
රෑන් රෑන් ගැහිලා – කැරැව් කරනවා කාකයෝ
කහවන් සේද පිහාටු සලු පොරවන්
සෙත් පතා ගී ගයනවා – රෑන් රෑන් කහ කුරුල්ලෝ

මේ විපරීතය නරඹා ඉවසුම් නැතිවී යද්දී
සිරකරුට ඇසෙනවා ඉකිබිඳුමක් ළඳකගේ
විපරම් කර ඒ හඬ එන දිසාව
යනවා ඔහු ඒ දිහාට සැකයෙන්
“අනේ දෙවියනේ ” කියැවුණි සිරකරුට ඉබේම
නෙත ගැටුණු ඒ දසුනේ කම්පනයෙන්

කාණුවට පෙරළා දැමූ – පිළිම හිස ඉකි බිඳිනවා
එබී බැලුවා විතරයි ඔහු – ළ0වී දෙවඟන මුහුණට
පිළිම නෙතේ බැඳි කඩතුරා ඉරාගෙන
දිගු දෑස එසවුණා ඔහු දෑස වෙත
පිළිම දෑසට උනන ලේ කඳුලු – රූරා වැටෙයි නොනවතී ඉකිබිඳුම ද
තිගැස්සුණි සිරකරු මුසපත්ව සංවේගයෙන්
ඇහැරුණා එසැනින් ඔහු නපුරු හීනයෙන්
දුකඳුරම හිත පෙළයි සිරකූඩුවේ

26-3-2021