ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංගායනා!

සංගායනා!

අසංක රුවන් සාගර
2022-February

සංගායනා!

චෝදනා 1
…………………………………….

ඇයි උන්නාන්සෙට මඩ වතුර බොන්න දුන්නෙ?

“පිපාසයි ආනන්ද”

නිවෙන්නට කලින්
බුදු පාන
ඉරා සිවුරෙන් රෙදිකඩ
පෙරා ගත්තා ඇත්තයි
කැළඹී ඉහිරුණ
කුකුත්ථා නදියේ දියවර

ඒත් එවෙලෙත් ඒ ඇස්
නිසලව තිබුණ අන්දම

“පිපාසයි ආනන්ද”
ඒ ගිලන් වූ කටහඬ

ඇවැතක් උනා නම් අවසර!

චෝදනා 2:
…………………………………….

ඇයි බුදුන්නෙ දේහය පිට කාටවත් පෙන්නුවෙ?
පිරිමි අපටත් නොවුණුකොට;
……………………………………

කුසිනාරා සල් ගස්
මල් එකින් එක විසිකළ
ඒ අසලමයි චිතකය
මට මතක නෑ ඔක්කොම

සඳුන් දර උඩ රන්බඳ
රාජ අනුග්‍රහයකි, මළගම

බවලතියො ඇහුවෙම
“පුරුෂ ලක්ෂණ ඇත්තද ?”

නොදැනුණා නෙවෙයි මට
ඒ අහන්නේ තිස් දෙකෙන්
එක දෙයක් ගැන වග

සහතිකයි ..
චීවරේ ඉස්සුවෙම
රන්දෙණට හිතින් වැඳ වැඳ

දැන් ඔබට පුළුවන්
විනය පිටකේ නඩු පොත
පෙරලන්න රිසි ලෙස..

“පිපාසයි ආනන්ද”

ඇහෙන්නෙම ඒ කටහඬ !