ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ශිෂ්‍යත්වය…..

ශිෂ්‍යත්වය…..

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
2023-December

ඇමතුමක් නැති, තැනක් දන්නැති
ගෙවූ දින විය දහස්….
නේරංජනා ගඟින් එතෙරව
පියවරුන් ගිය නිවෙස්….
සින්න වී ගිය සෙනෙහසක් ඔබ
මිලට ගෙන කෙරුවත් උගස්….
ඉඳ හිටක එලියක් ගෙනෙනවා
හඳක් පායා ගව් අහස්….

ඔයා සතුටින් ඉන්නවා ඇති
මං වෙලා මොකටද හරස්….
මගෙන් අඩුවක් උනිද නොදනිමි
ඇගෙන් සෙව්මට පහස්….
බෙදාගන්නට එක්ව සතුටක
කඳුලු පිරුවත් දෙඇස්….
ඇත්තටම අපි හිතනවාටත්
වඩා අපි දැං දුරස්….

දුවගේ පාඩම් නිසා අපි
නිදි වැරූ පහුගිය දවස්….
නින්ද නැති රෑ සිහි උනා මට
ගෙවූ සුන්දර සවස්….
වෙදඟිල්ල හිස් උනත්, නුඹ කී
මතකයේ ඇත රහස්….
ඇවිත් කෙල්ලට සුබ පතනවද…?
ඒකි ශිෂ්‍යත්වය පාස්…..