ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුරුල්ලන් ගැන නිහඬ කතාවක්

කුරුල්ලන් ගැන නිහඬ කතාවක්

ජයතිලක කම්මැල්ලවීර
2021-August

දෑස් අඳ, වියපත් කුරුල්ලා
ඉවට දෝ ඉඟිල විත්
හැපී සුදු බිත්තියේ
වැටුණේය සිහි සුන්ව

අද්දමින් බෙහෙත්තෙල් ගැල්වූ දෙපා
හෙමිහිට ඇවිද ආ ඇය
බලා හිඳ කම්පාවෙන්
කොඳුරනු ඇසෙයි
“අනේ පව්”

අසන්නට සිතුණද
නොඅසමි ඇගෙන්
‘මතකද මේ විහඟතෙම
පෙරදින නිතිපතා අවුත්
අප ගෙමිදුලෙහි
මිහිරි ගී ගැයූ හැටි?’