ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙසක් මද නල  සිතින් විඳමින්

වෙසක් මද නල  සිතින් විඳමින්

හෙළමිණි ටිකිරි කුමාරි විජේකෝන් - මහනුවර
2021-May

හංදියේ පටු පාර අද්දර
බට පඳුරු බර තොග කපාගෙන
පතුරු කැටයම් අච්චු අතරේ
පාට දැල් කොළ බිම එළාගෙන

ලොකුවට ම තෙමඟුලට හැඩවෙයි
උණ තීරු සිරි සිරියෙ ගැලවෙයි
බක් හුළං මැකි මැකී යද්දී
වෙසක් කාලෙත් ළඟ ම එළඹෙයි

ඉටිමලුත් විකුණන්න තිබුණා
චීන කරදහි පහන් එක්කම
පොළේ හරියට සෙනඟ පිරුණා
පහන්, දැල් කොළ, කතුරු ගන්නම

තැනින් තැන දන්සැල් ද තිබුණා
රෑ දවල් වෙනසකට නැතිවම
යෝධ බත්, කැඳ, අවුළු පිසුණා
පෝලිමක් පෝලිමක් ගාණට

අපිත් හැදුවා රැස් වළල්ලක්
උඩහ කූඩුව තාරකාවක්
ආන් ටවුමට මෙහා තිබුණලු
වණ්ණුපථ ජාතකෙන් තොරණක්

පැටව් අට දහයකුත් එක්කම
කැරකෙන්න කූඩුවක් හදලා
පුංචි උන් ඇස් කන් අයාගෙන
බලා හිටියලු එතන පිරිලා

මිදුලෙ සව් රැළි සුළඟෙ පාවෙයි
පුරුදු බොදු ගී තැටිය කැරකෙයි
පහන් වැට නිවි නිවී ඇවිලෙයි
ගෙයින් ගෙට දැඩි අඳුර දුරැවෙයි

අනියතය ලෝ දහම පැවසූ
බුදු වදන් දෙසවනේ ගැවසෙයි
වෙසක් මද නල සිතින් විඳගෙන
තෙමඟුලට පිළිවෙතින් සැරසෙයි..