ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බොල් කුහර මිනිස්සු

බොල් කුහර මිනිස්සු

බන්ධුල නානායක්කාරවසම් 
2023-March

The Hollow Men by T S Eliot ( 1885 – 1965)

අපි,
බොල් කුහර මිනිස්සු. හිස මැඩුවන් පිරවූ ……
එකිනෙකාට හේත්තු වී, වාරුවී හිඳින
අපි, බොල් කුහර මිනිස්සු !

අහා……!
අපේ වියලි, හිස් බිං කුටිය තුල
වියලි තණ බිමක සුළං සරයක් ලෙස
බිඳුණු වීදුරු මත මීයන් යනෙන ලෙස
අරුත්සුන්, දිරුණු අපේ වියලි කටහඬ
රහස් තෙපලයි

කිසිදු හැඩයක් නැති රූප, විලාශ
කිසිම පාටක් නැති චායා සෙවනැලි
කිසිම පණක් කඳක් නැති, අප්‍රාණික ප්‍රාණ
කිසිම චලනයක් නැති, අංග චලන ;

කෙලින් අත බලාගෙන එතෙර වුණු
මිනිසුනි, මරණයේ එහා රාජ්‍යයට
මතකයේ තබාගනු එපා අප,
ප්‍රචණ්ඩ ආත්ම අහිමි කරගත් උන් විලසට,
අපි බොල් කුහර මිනිස්සු
පිදුරු පිරවූ මිනිස්සු !

ඉදිරිය බලාගෙන එතෙර වූ මිනිසුනි,
මරණයේ සිහින රාජ්‍යයෙදි
මා කැමති නෑ ඔය ඇස් හමුවන්න
ඔය ඇස්,
කැඩී බිඳී ගිය කුළුණකට වැටිච්ච ඉරු රැල්ලක් …….
ඔය හඬ
පැද්දෙන ගසක ගීතවත් වන හුලඟේ සරයක් ……..
ඈතින් ඈතින් මැකෙමින් යන තරුවක් !

දිලි දිලි මැකෙමින් යන තාරකාවක් යට
ඉහලට නැඟුණු ගල් පිළිම
මළ මිනිසුන් නගන අතොරක් නැති යාදිනි
අසා හිඳී !

අපිටත් ඒ වගේමයි
සැලෙන, වෙව්ලන මුදු මොලොක් දෙතොලින්
සිපිමින් නගනවා යාදිනි
සෙල් පිළිම වෙත !

මිය යන තරු දිදුලන මිටියාවතේ
හිස් වැලි තලයේ
බිඳුණු හකු පාඩා තැන තැන ඇති
අපේ අහිමි රාජ්‍යයේ ……..
දෙනෙත් මෙයට යොමුව නැත
මෙහි දෙනෙත් ද නැත !

ඉදිමී ගිය ගිලන් ගං ඉවුරේ
අන්තිමට අප හමුවූ තැන
අපි එකට එකතු වෙනවා ………
අන්ධවයි අපි ඉන්නෙ
ඇස් ලැබුනොත් පමණයි පේන්නෙ
මරණයේ අරුණෝද මන්දාලෝකයේ දකින
සදාකාලික තාරකාවක් වාගේ
දළු වගේ මල් පෙති ඇති රෝස මලක් වාගේ
ඔහේ හිඳිනවා මිසක් ……..
ජීවිතයට වඩා අපට ඇත්තෙ
‘බලාපොරොත්තුවක්’ විතරයි
හිස් මිනිස්සුන්ගෙ !

“එන්න එන්න රවුමෙ යන්න
කටු පිරිච්චි ඵලය වටේ
කවුද එන්නෙ රවුමෙ යන්න
එන්න එන්න රවුමෙ යන්න
උදෙන්ම කටු ගෙඩිය වටේ”

හැබෑව සහ මතය අතරෙ
ක්‍රියාව සහ හුදු චලනය අතරෙ
නිර්මාණය සහ සංකල්පය අතරෙ
ආරෝහණය සහ අවරෝහණය අතරෙ
ආශාව සහ නිරාශාව අතරෙ
චායාව වැටෙයි
යාඥා ඇසෙයි …….
ජීවිතයම ඔබමැයි
ප්‍රාණයද ඔබමැයි
මේ රාජ්‍යයද ඔබෙගේමැයි
සියල්ල ඔබමැයි ……..