ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රජුනි මගේ

රජුනි මගේ

ලූෂන් බුලත්සිංහල
2023-January

ලී තොටිල්ලේ හිරෙන් පැන්න දා
බිම ඇද වැටිලා රිදුනත් නොහඬා
නුඹ දුව පැන නැටුවා මතකයි
කිරි සුවඳ කටේ රන් ටිකිරි සිනා පාලා
මුලු ගෙදරම නලවා
ඒ පුතාද අද මේ සිරකුටියක අඳුරේ
කඳුලු පුරෝගෙන ගොලුවී හැකිළෙන්නේ
සංවර පැවතුම් යහගුණයෙන්
පුතුනේ සැවොම දිනූ
නුඹ කාටදෝ වුණේ අකීකරු
සිනිඳු බිලිඳු බාලේ ඉඳලා
දෑසේ තියාගෙන රැක ගත්තේ
ඇති දැඩි කෙරුවේ අම්මා නුඹව පුතේ
ඒ හුරතල් පුතුගේ රන්කඳ පුරා ද මේ
තැලුම් කා තොල් පුපුරා ලේ ලකුණු
කුසගින්නේ දැවෙනා තැවෙනා සුසුමන්
අසරණ ඇස් හිස් නොදැක නොවේ
සේසත දියකර නුඹ සරසවි යැව්වේ
අවනීතිය රජවී
අද නුඹව දඟගෙයි දමන තුරා
පුතේ නුඹයි රජකම් කෙරුවේ
මගේ හීන ලෝකේ

25/12/2022