ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ශෘංගාර සංග්‍රාම

ශෘංගාර සංග්‍රාම

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2023-January

ඉඳහිට සිතෙයි මට
ඔහු සිත කොණහන්න
හීනියට රණ්ඩුවක් ඇදගන්න
කවිකාර මගේ සිත
මදක් උන්මාද බව
ඔහු නො දන්නා බව
නොයෙකවර සිතෙයි මට .

ඉදින් මම සීරුවෙන්
බලා ඉමි
කුරුමාණම් අල්ලමින්
බැළලියක ලෙස
කඩා පනින්නට
ඔහු වෙත
ඒකාකාරී මොහොතක
ජීවිතය

පිටවන තුරු
අනිසි වදනක්
හසුකරගන්නා තුරු
පෙර කළ වරදක්
කියවෙන තුරු අහම්බෙන් හෝ
අතීත පෙම්වතියකගෙ නමක්
බලමි සීරුවෙන් මම

ඉන්පසුව අරඹමි
තනිව සංග්‍රාමයක්
දැනෙයි මට එවිට
නිර්වචනය කළ නොහැකි
දුෂ්ඨ සතුටක්
ඇණුම් පද කියමින්
උණු කඳුළු ස‍‍ලමින්
වවාගන්නට දඟළමි
මහා ස‍ංග්‍රාමයක්

එහෙත් ඔහු හිඳී එවිට
අඳ ගොළු බිහිරි ව
ගැඹුරු මුහුදක් ලෙස නිහඬව

වෙහෙසට පත්ව
මුහුණ රතුකරගෙන
අඳුරුව ගිය හදින්
බලන විට හොරැහින්
දකිමි මම
නිමග්නව සිටින’යුරු ඔහු
දෑස් බරකරගෙන
මහා කල්පනාවක
දොම්නස් සහගතව

ඉදින් වැද ඔහු වෙත
සිපගනිමි දෙතොල්
දෙකොපුල් ද
සෙනෙහසින් මම
සිනහ මල් පිපෙන තුරු
ඔහු ලවන් යුග මත.