ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුණු පොතෙන් අතීතයට …

මුණු පොතෙන් අතීතයට …

පළල්පඩියේ සෙනෙවිරත්න බෝධිමළුව - කෙන්ට්
2022-December

සතුට සැනසුම හදේ දැවටුන
මිහිරි පාසැල් වියේ මතකය
අළුත් කරමින් ඔබව දුටුවා
මුණු පොත තුල තවත් පිටුවක.

කුඩා පැටවුන් රැසක් මැදිකර
එදාමෙන් සතුටින් සිනාසෙන
සැදැ සමයේ සුවය විඳිනා
ආත්තම්මා කෙනෙකි ඔබ අද .

පුරා අඩසිය වසක මතකය
අළුත් වුවා නිමේෂයකින්,
සොඳුරු පාසල් දිවිය මතකද?
අපේගම,ඒ අපේ පාසැල.

දෙපස බඩවැටි , පිපුන වනමල්
සුවද අතරින් පැන දුවද්දී ,
කුඹුරු ඉපනැලි නියර සහ ඔය
අපේ සියුමැලි දෙපා සිම්බා.

සතුට ඉතිරුණු අප ළමාවිය
සුවද වත් කල අප උපන්ගම
ගැන කියනු මැන ආත්තම්මේ
ඔබවටේ ඇති පුංචි එවුනට.