ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිලන් වූ පිය පුතු

ගිලන් වූ පිය පුතු

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුර
2021-February

දෑස් අඩවන්ව අසරණ ව
බියෙන් සගවනා කෙඳිරිලි හඬය
ගිලන් ව..
පුත නුඹේ සුසුම් වැද
පිපිරිලා විසිරිලා බොත්තම් කැඩී
ගැලවිලා හැඳි කබායද ඉරී..
හදවතේ..
එලි බැසී කූඩු කළ සෙනේහය..

නීති රෙගුලාසි කිරුළ ද බිඳී
වේදිකාවෙන් වැටුණු…
භූමිකාවේ වදන් ගොත ගැසුණු..
මා රුව,
අරුම සත්ත්වයකු වී පෙනුණාද..
උණ විකාරෙන් පෙනුණු
රුවක් යැයි සිතුනාද..?

ඔය දෑස් විදුලි සැර වැදී
අන්ධකාරය පුත ම’ නෙත .

සිඹ නළල පිරිමැද සිත හිස ද
පියවි ලොව පය තබමි
නුඹ දකිමි……
මම,
මම ම වෙමි..
පසුව දෙන්නට කල් තබාගත්
“සෙනේහය”
කර විවර
වීසි කර පීතෘ අභිමත…
හඳුන්වා දෙමි ඉතින්
“ම හද…”
නුඹ නිසා ගිලන් වුන..
එහි හඬ හා
උණුසුම ද..