ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාත් ඩී.ගාමිණී !

මාත් ඩී.ගාමිණී !

අසංක රුවන් සාගර
2021-November

…………………………………….

සම්පූර්ණ නම: දේවනාරායනලාගේ ගාමිණි
වයස : හතලිස් දෙකයි
ආගම: මං බුද්ධාගමේ
විවාහකද? : ඔව්

“එතකොට තමුන් කියන්නෙ මේක මේ කාන්තාවගෙ
අනුදැනුම ඇතිව සිද්ද වෙච්ච් දෙයක් කියලද? ”
…………………………………….

උතුරෙන් හැඩි දෙමළු
ගොළු මුහුද දකුණෙන් කියල
අතපය දිගෑරල නිදාගන්න
බැරි වුණ නිසා සමහරු

හතර හන්දි වල හිරි ඇරවගත්තෙ
ගිලීමලේ පැත්තෙ
හීල් මිටියාවතක..

ඇහුවද එදා ඒකගෙන්
මොට පැල කරාදැයි බිජුවට
නිකන්ම නිකන් ගංකරේ ලියැද්දක..

අන්තිමේ පෙරහරක්ම ආපි
මුතුකුඩ සේසත් ඉහලගෙන

ස්වාමීනි,
ඒ , ඩී. ගාමිණි!

බුදුන්ගෙ ලේ නෑයොත් වෙච්ච්
අර තරම් මුරවැටක් අහුරද්දි
ඒ රූප සොබාවෙන්
රටක් උන්මාද කරවද්දි,

කොහොම ආවද කියල හෙව්වද?
කළුවර අඳුන ගාලද හිටියෙ ?
සෝදිසියට, එකෙක් හිටියද රජගෙදර ?

ගෑණියෙක් බඩ වෙන්නෙ
නැබ පිරිමැදලත් නෙවෙයි නම් ..

මැරෙන බව දැන දැනම හරි
ඌත් නැග්ගකොට එක්ටැම් මාලිගෙට..

අවසරයි ස්වාමීනි ,

ඒත්, ඩී.ගාමිණි !!
……………………………………

ඉතින් හාන්දුරුවනේ ,
ඇයි මටම විතරක් …??

මාත්, ඩී.ගාමිණී!

2021.09.17