ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බාරගන්න අකමැති අනිත්‍යය

බාරගන්න අකමැති අනිත්‍යය

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2023-January

වයසට ගියත් තරුණන් සේ සිටින්නට
කැමතියි සැවොම සැකයක් නැහැ ඉතින් මට
දරනා වෙහෙස නිසි වයසින් මිදෙන්නට
සැමගෙම චරිත වල තිබෙනව දකින්නට

ඉඩ නොම දෙමින් ගත හම රැලි වැටෙන්නට
තවරයි පුයර මුළු සිරුරම වැසෙන්නට
කොකුමඟරා සඳුන් සුවඳැති හැරෙන්නට
ඇති නෙක ආලේප ගාගති දැනෙන්නට

සමරයි උපන්දින සතුටක් ලබන්නට
පවසයි නොසඟවා වයසද ඇසෙන්නට
දිවි ඇති තුරා සමරන මුත් පෙනෙන්නට
නොකියයි වයස කිසිවෙක් විසි පහෙන් පිට

ළංවී ඇතත් හැත්තෑ පහ පිරෙන්නට
සැරසෙති කෙනෙක් කරකාරද බඳින්නට
බැරි මුත් බත් ඇටක් හරි හැටි හපන්නට
උක් දඬු කපති සමහරු පැණි උරන්නට

එකසිය විස්සෙ අග භාගයෙ ළඟින් සිට
මිලදී ගනියි හෙක්ටරයක් තමන් හට
ගත වෙයි වසරකුත් අස්වනු නෙළන්නට
ඒ බව දැන දැනත් අරඹයි වවන්නට

හැදිලා රෝගයක් බැරි සුව කරන්නට
වැටිලා ඇති විටත් ඇඳ මත මැරෙන්නට
රහසින් බලා බැංකුවෙ පොත් තුටින් සිට
සඟවා ගනියි නොපෙනෙන සේ බිරින්දැට

රාජකීය පණ්ඩිත පූජ්‍ය පනාමුරේ තපස්සී හිමි
ලන්ඩන් .