ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හඹා ඒම

හඹා ඒම

බන්ධුල නානායක්කාරවසම් 
2023-January

සෙනඟ දෙබෑ කරමින්
කළබලයෙන්
ඉස්පාසු නොමැතිව
වීථි ඔස්සේ යනෙන විට වුව ,
දෙව් මැදුරු පියස යට
දණින් වැටී , හිස නමා යදින විට වුව ,
සුහදයන් රොද බැඳන්
එකට තුරුළුව , මුසුවී සිටින විට වුවද ,
මරණයේ …..
අකාරුණික මුහුණුවර
මැවෙයි මා දෙනෙත ළඟ

එහැම විට මට හැඟෙයි ;
වේගයෙන් පියාඹන
කාලයේ විහඟ තටු මත රැඳී මරණයේ වියරු කළු හෙවනැල්ල
මා සොයා පියාසර කරන බව .

ළදරුවෙකු සමඟ සිටිනා විටදි
මම , මටම කියනෙමිය ,
ජීවිතේ අවසාන හෝරාව
තදින් මිට මොළවගෙන මම හිඳිමි ;
හෙට දවස උදාවෙයි ,
මට පොළොව මත වැතිර නිදන්නට
ළදරු හට ?
සුවඳ කුසුමක් විලස පිපෙන්නට !

කහ පැහැති පාවාඩ බිම එලුව
මහ විසල් ඇසල ගස පාවුලදි
මට සිතෙයි ,
මා මෙළොව හැර පියා ගිය දිනද
මේ මහා ඇසල ගස
පෙර පුරුදු විලස මල් වදනු ඇත .

කෙසේ වුව සුහදයිනි !
කෙදින හෝ මා නිදන සුදු සොහොන් කොත අසල
‘ වසන්තය ‘
මගෙ තනිය මකනු ඇත
මලිත්තන් , සකුණ කැළ
නොනැවතී මට ගීත ගයනු ඇත.
සොබා දම් මෑණියන්
සෙනෙහසේ දිය දහර වගුරමින්
මා අසල සදාකල් රැඳෙනු ඇත .

Alexander Sergeyevich Pushkin
1799 – 1837
Adapted By
BANDULA NANAYAKKARAWASAM
බන්ධුල නානායක්කාරවසම්