ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන්සල

පන්සල

අතුල රත්නායක
2021-February

ගමේ පන්සල
දහම් පාසැල
නිම් පුලුල් කල
සිත පහන් කල

හඳුනගන්නට
බැරි තරම් අද
වෙනස් වී ඇත
අලුත් වී ඇත

ඊ ගහක් බිම ඇන්න වාගේ
උසම උස මොබිටෙල් කනුව ලඟ
චෛත්‍යය පෙනුනා කුඩාවට
බුදු මැදුර ඊටත් කුඩාවට

ලැබෙන්නෙත් සොච්චමලු කනුවෙන්
ඒක දෙන්නෙත් දෙතුන් පාරට
හාමුදුරුවන් රවටගෙන මුං
දෝසෙ අපෙ දායක සබාවට

දේවතා එලි පේනවලු දැන් චූඩමානික්කෙට උඩින්
කුරුල්ලොත් පියඹන්නෙ නැහැ දැන් තියන කලබලයට බයෙන්
බුදුමැදුර වැඳ ගන්ට තවමත් පෝලිමේ එති බැතිමතුන්
හාස්කම් තවමත් තියෙනවලු දෙවි බඹුන්ගේ අනුහසින්

මහා බෝදිය වටේ තිබු රන් වැට හොරු අරගෙන ගිහිල්ලා
අපල දුරුවෙන පැතුම් ඉටුවෙන පාට කොඩි ගහ වටේ එල්ලා
වතුර කළගෙඩි මුට්ටි අරගෙන පෝලිමේ බෝ මුලට හලලා
බෝ රජුන් නැත බලන පාටක් අප දිහා නම් ඇහැක් ඇරලා

බණ මඩුවෙ ටියුෂන් පන්තියේ අකුරු කරවනවා ලමයි
ආවාස ගේ කොනක කාමර බෝඩිමේ පහලොස් දෙනයි
කතරගම සූනියම් පත්තිනි දේව බල ඇති පින් බිමයි
පන්සලේ අපෙ හැමදේම ඇත නැත්තෙ බුදුබන විතරමයි