ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිශ්ශබ්ද ලෝකය

නිශ්ශබ්ද ලෝකය

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව
2022-March

The Quiet World by Jeffery McDaniel
පර්වර්තනය- හෙල්මලී ගුණතිලක

මිනිසුන් එකිනෙකාගේ දෑස් දෙස
බලාසිටීම වැඩිකිරීමටත්
ගොළු අය සතුටු කිරීමටත්
එක් අයෙකුට දිනකට
හරියටම වදන් එකසිය හැට හතක්
නියම කර ඇත රජයෙන්

මා ඊට හොඳින් හැඩ ගැසෙමිනි
දුරකථනය නාද වූ විට
කිසිත් නොකියාම එය සවනත තබාගනිමි
අවන්හලේදී
ඇඟිල්ල දිගුකර පෙන්වා
සුප් ඇනවුම් කරමි

රෑ මැදියමේ දී
දුර වෙසෙන මා ප්‍රේමියට අමතමි
“අද මා පාවිච්චි කළේ වචන පනස් නමයයි.
ඉතිරිය ඉතිරි කරගත්තා ඔබ වෙනුවෙන්”
ආඩම්බරයෙන් පවසමි

ඈ පිළිතුරු නොදෙන විට
දැන ගනිමි මම
ඇගේ වදන් නිමා වී ඇති බව
ඉතින් මම ‘මා ඔබට ආදරෙයි’ යැයි
තිස් දෙකයි තුනෙන් එක් වරක්
හෙමින්, රහසෙන් මුමුණමි
ඉනික්බිති අප දෙදෙනා
දුරකථනය විසන්ධි නොකර
එකිනෙකාගේ හුස්ම හඬට
සවන් දෙමින් රැඳී සිටිමු

Link to the original poem https://www.poetryfoundation.org/poems/49238/the-quiet-world

Jeffrey McDaniel 1967දී ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ උපන්නෙකි. සරල බසින් සියුම්, සංවේදී කවි නිර්මාණය කරන ඔහු මේ වෙද්දී කාව්‍ය සංග්‍රහ පහක් පළ කර ඇත. Jeffrey McDaniel වෘත්තියෙන් ගුරුවරයෙකි