ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දාසියකගේ විළාපය!

දාසියකගේ විළාපය!

වාගිස ප්‍රනාන්දු
2021-December

ලොකු හාමු අනේ මං – ඔබෙ නිවසෙ දාසියයි
කුස්සියේ වැඩකලේ – “පොඩි සෝමා” මං තමයි
නෝනා නැති වැසි දිනේ- මා ගැහැණියක් කලේ
කුසට ආ දරුවගේ- නුදුටු අප්පා නුඹයි !

දිනෙන් දින මෝරනා – කුස කෙසේ හංගම්ද?
ගෙනැත්දුන් බෙහෙත් පෙති – පලක් නොවුනේ මන්ද?
අන්තිමේ නෝනගේ – ඉවට හසුවූ මාව
පැන්නුවා ගෙදරිනුත්  – වන්දියක් නොලබාම

එතැන්සිට පාරේය – කාත් කව්රුත් නැතිව
වේල සරිකරගන්න – අතපෑවා හැම දෙනට
උකුසු ඇස් මගහරිනු – නොහැකිවිය අන්තිමට
බඩගින්න නිසා මට – වුනේ පණමටත් බුදියන්න

වීදි සරණා ලියන් – රටට කැළලක් නිසා
නීතියේ මුරදෙටුවො – දැල එලයි අප වටා
උඹ කුසේ, මං කෙසේ – දුවන්නද ඒ දිනේ?
කොටුවුනා ඒ නිසා – නීතියට මං එදා

අච්චු කෙරුමට කියා – උසාවි ගෙන ගිය විටේ
තමයි මා දුටුවේ – ඔබ සිටින උස් ආසනේ
තෝල්කයා හඩ තලයි – චෝදනා කිය කියා
මං කුමක් කිව යුතුද ?- අනේ මගේ ස්වාමිනේ!

මගේ රංකැටි පුතේ – බය වෙන්න කාරි නැහැ
උඹේ අප්පා තමයි – යුක්තියේ දෙවගන මෙතැන
අන් අයට මක් කලත් – උඹ කුසේ හින්ද මට
සමාවක් ලැබේවි – නවා හෝ නීතිය අදට

කූඩුවේ අපි පහම – එක දිගට සිටගෙනම
තෝල්කයා සද්දෙන්ම – කියයි තීන්දුව අපට
මාස තුනකට, පහම – වැලිකඩ සිපිරිගෙට
වරද මගේ වුනත් පුතේ- අප්ප උඹටත් අච්චු කල නොවැ?