ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉතින් මාත් තවමත් එහෙමය

ඉතින් මාත් තවමත් එහෙමය

බුද්ධික රුවන් නෙලුගොල්ල
2021-September

ඉතින් ඔබ ජීවතුන් අතරය,
මාත් තවමත් එහෙමය …

ආදාහනාගාර දුම් කවුළු අතරින්
අහසට දිනපතා නික්ම ගිය
ඒ විසල් ගණනට එක් නොවී
බේරීම පිළිබඳ
වරදකාරී හැඟුමින් තැවෙන්නට
තවත් දවසක් උදාවී ඇත

හාත්පස පැතිර යන
අවිනිශ්චිතභාවයේ
කෙඳි වලාකුළු මැදින් හිඳගෙන
තඩි බත්පත් තුනක් බෙදාගෙන කන්නට
තේ කෝප්ප පහක් හිස් කරන්නට
ෆේස්බුක් වේදිකා මස්තකයට නැඟී
නැට්ටුක්කාරියක් විහිළුවට ගන්නට
වෙනකාට හෝ උත්තුංග මානව දයාවෙන්
කොමෙන්ටුවක් දන් දෙන්නට
සිවිලිමේ සිටින හූනෙක්
මදුරුවන් ගිලින හැටි දෙස
අනිමිසලෝචනයෙන් බලාගෙන
තවත් නිදි නැති රැයක් ගෙවන්නට

ඉතින් ඔබ ජීවතුන් අතරය,
මාත් තවමත් එහෙමය …

පල්ස් ඔක්සිමීටරයක
ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන අතර
මිනිස් ජීවිතයක ඉරණම තීන්දු වන හැටි බලන්නට
ඔක්සිජන් පරමාණු ඉදිරියේ
මහා ශිෂ්ටාචාරයක් වැඳ වැටෙන හැටි බලා ඉන්නට
ජීවත් වන්නන් කෙරේ ශෝක උපදව උපදවා
මළවුන්ට ඊර්ෂ්‍යා කරන්නට
ඒ ටික පවා කෙළින් කියාගනු බැරිව
කවි පෙළක සඟවා කඳුළැලි හෙළන්නට

ඉතින් ඔබ ජීවතුන් අතරය,
මාත් තවමත් එහෙමය …