ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එතෙර යන පුතුට………

එතෙර යන පුතුට………

සුනිල් එස්. සිරිසේන  - මහනුවර
2022-November

වසන්තය දොරකඩින් යාන්තම් එඹෙනවා
දුරු රටක සුදු පාට ලිලී මල් පිපෙනවා
“කියෝතෝ” උයන් වල සකුරා මල් හැදෙනවා
කෙටි කලයි හැම මලම පර වෙවී වැටෙනවා

හරිත වන උයන් වල සුවඳ මල් දැකගන්ට
වන පියස සිසාරා ගුමු ගුමුව අහගන්ට
හැමදාම වසන්තය ඇති මෙරට හැරයන්ට
සිත් උනේ කිමද පුත බැරිද මට පවසන්ට

බුදු පුතුන් පිඬු සිඟා වැඩිය මේ මාවතේ
පෙර දවස පින්සාර බිමකි නුඹෙ රට පුතේ
රජ කරපු නරුමයන් කළ නොකළ දේ ඇතේ
දු පුතුන් අඩක් අද වෙසෙනවලු හාමතේ

නුඹෙ ගමන් වළකන්ට සිතක් නෑ මගෙ පවට
දරු පැටව් යා යුතු ද අකුරු නැති පාසලට
ඔබ අසයි දුක් මුසුව එන්න අප හා යන්ට
සිතින් වත් යා නොහැක දුර රටක නවතින්ට

ලසෝ ගිනි ඇවිලෙද්දි දෙගුරුන්ගෙ හදවතේ
දරු පැටව් ඉතිං නෑ – කෙළි කවට බස් නැතේ
මා මළත් – දුරු රටක නුඹ ගෙවන ජීවිතේ
දුක සතුට කියාපන් අම්මාට මගෙ පුතේ