ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තිස් හය (මගේ සහ ඇගේ)

තිස් හය (මගේ සහ ඇගේ)

චාන්දනී ආර් වේරගල - මීගොඩ
2024-February

දෝනි ට අවුරුදු අටයි
තුන වසරෙ ගමේ පාසැලෙයි
බාලිකාවට දමන්නට
මුදලක් එකතු කල යුතුයි

මහ ගෙදර අපට සැපයි
ඒත් අප පිට විය යුතුයි
නිවහනක් කොලයක තිබෙයි
එයත් එක සිහිනයක් තමයි

සයිකලේ ගමන කඩිසරයි
අපට එය දිව්‍ය රතයයි
අප සිහින ගෙත්තම් කලේ
එහෙම යන එන ගමනෙදියි

ඩිග්‍රියෙන් පසු ඔයාගේ
උසස් වීමක් ලැබෙයි
එවිට වැඩි පඩිය පෙන්නලා
ලොකු ණයක් ගන්නට හැකියි

අම්ම මට ඉඩම ලියන්නට
අයිය එනකල් ලු ඉන්නේ
අයිය මේ සැරේ ආවම
ඒ වැඩෙත් හරියයිනේ

ඇයට දැන් තිස් හයයි
උසස් නිලයක් දරයි
නමට ඉදිරියෙන් ලියැවුණු
ඉංග්‍රීසි අකුරුත් ගොඩයි

විසිටින් කාඩ් පත දැක්කම
සතුටුයි ආඩම්බරයි
අයනු ආයනු කියූ හැටි
නිබඳවම සිහියට නැගෙයි

සුව පිරුණු නිවසක වෙසෙයි
දැසි දසුන් වාහන ද තිබෙයි
සමුළු සම්මන්ත්‍රණ ගොඩයි
සිරස් තල වල රැඳෙයි

දොඩමළුව ගෙවන්නට කාලයක්
සැම්යටත් ඇයටත් නැතෙයි
පරිගණක තිරයන් මතෙහි
ඉතා දිගු පැය ගෙවෙයි

සම්පතින් නැතත් අඩුවක්
සරු බිම් රැල්ල ට නතුයි
ඉගිල යන්නට මව් බිමින්
තටු පිරිමදිමින් සිටියි

Photo; Natalya Letunova