ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැලන්ටයින්දාට පසුවදා

වැලන්ටයින්දාට පසුවදා

නිමල් අබේසිංහ - කඳාන
2022-March

මා වත තබා සිසිලැල් සුසිනිඳු වතක
කළු දෙබරෙකු වැසුවා සේ සුදු මලෙක
මුදුවට අත තබා ඔබගේ එක් උරෙක
සිටි ඒ දවස ගැන එනවා මට මතක

මධුවිත බිඳක් ගෑවීතිබුණ ද තොලක
ගිය නැති බවත් ඇත්තයි අපි වැඩි දුරක
සඳු ළඟ කදෝපැණියෙක් කවදා මිලෙක
සුදු බස්සියේ ඔබහට නැතිවද මතක

සැමදා ළහිරු සහසක් රැසින් බබළන
ඇස දා බලනු රිසියෙන් මෙමන් ලතවෙන
ලසඳා සදිසි ඔබගේ රුවක් නොදකින
පිසදා කඳුළු අද දින සිටිමි රහසින

පුරා පෝය සඳ පායනු බලන්නෙමී
නුරා හැඟුම් සිත් පුරවා විඳින්නෙමි
සරා රසට කවදත් ලොබ බඳින්නෙමී
ගිරා මලිත්තෙකි දුක් ගී ගයන්නෙමී

-කඳානේ නිමල් අබේසිංහ