ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජයගමු දිනෙක මේ සෙනෙහස් අරගලය

ජයගමු දිනෙක මේ සෙනෙහස් අරගලය

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
2022-June

දහඩිය වැකුණු සිරුරත
වැහි බිඳු වැතිරී
දාහය නිවූවද හද ගිනි
කඳු පිපිරී
පැතුව ද ලොවක් සැනසුම
සාමය සපිරී
අද මිස නැත හෙටක්
පැතුමන් යයි විසිරී..

ඇස්බැන්දුම් වලට නතු වුන
ලෝකයක
නොසොයා දිග පළල
හැඩ අන්සතු දෙයක
ඉල්ලන කෑ ගසා
අරමුණ ජීවයක
මන්දාකිණි පොළෝ මත
එක පන්තියක..

හිරු සඳු තරු කැකුළු
දිස්නය එක වාගේ
විඳ විඳ කම්කටොලු මුත්
වෙහෙසක් නෑඟේ
නිම් නැති හඬකි
සමුදුරු ඝෝෂය වාගේ
තාරුණ්‍යයේ හඬයි ඒ
ලක් අම්මාගේ

දුන්නෙන් මිදී ඇදෙනා විට
ඊතලය
අරමුණ වෙතම යනු මිස
නවතනු බැරිය
ඩිජිටල් ලොවක ගෙන
හණ මිටි අඩුවැඩිය
නවතනු හැකි නොවේ
සෙනෙහස් අරගලය!!