ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගැහැනිය සහ ප්‍රංශය (දිනපොතින් පිටුවක්) ——————————-

ගැහැනිය සහ ප්‍රංශය (දිනපොතින් පිටුවක්) ——————————-

උදයංග අමරසේකර - ප්‍රංශය
2023-July

“මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට
තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්
ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි”
– බයිබලය [1]”

සඳුදා :

“ආදරය බූරුවන්ට නටන හැටි කියාදෙයි”
-ප්‍රංශ පිරුළක්

ගෑනියෙ මගෙ මොට්ට පිහිය
හොඳහැටි මුවහත තියපිය!
තිගෙ පුවක ම මිස වෙන පුවකක්
මගෙ බුලත සරු කරතැයි සිතා ද?
“නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ [2]”

අඟහරුවාදා :

සියවසක් ගොළුව හුන් මගෙ වස්දණ්ඩ
තිගෙ දිගු ඇඟිලි තුඩු අග වැයෙන මිහිර!
දිවයුරු රත් උල් උපුල් මධු මාංසල ලවන්
ගෑනියෙ, අහෝ පරමානන්දනීයයි !
“ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන අතර
දොලේ දියෙන් පා දෙවුවා [3]”

“මනාව ලුණු ගම්මිරිස් මුහුකළ කල
ගැහැනිය යනු රසවත් සුප් හොද්දකි”
-ප්‍රංශ පිරුළක්

ගරු මහත්වරුණි ,
මඳක් නවතිනු මැනවි
ගැහැනිය අත සුප්හොද්ද
පිරිමියා ම නොවේ ද?
යක්කු පවා ඇගෙ කල්දේරමේ
ගොජ දමමින් පැහෙත්
කලු දොදොල් මෙන් !

“ගැහැනිය රජයන රටේ
යකා අගමැති යා ය”
– ප්‍රංශ පිරුළක්

බදාදා :

ගෑනියෙ, තී නම් සැබෑ වෙළඹකි
ඉසිඹුවක් කියා නාමයක් වත් නොදත්!
හිට මඳක් සාමූහික ව සවන් යොමමු ද
අර අඹ අරඹ පිස හමන මඳ පවනට?
“ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයයි [4]”

“ගැහැනු සීමා නොතකත්
යහමඟින් වේවා නොමඟින් වේවා
ඔව්හු පිරිමින් ඉක්මවා ම යත්”
-ප්‍රංශ මහාමාන්‍ය
ෂොං ද ලා බෘය්යේර් (Jean de La Bruyère)

බ්‍රහස්පතින්දා :

ගෑනියෙ, තිගෙ ඇඹුල් තියල් අඳෝමැයි!
ඉන් බිඳක් රස කළ කල දිව දෙකඩ වෙයි
ඒ වුණාට තිගෙ පුන් පියොවුරු අතර
ජීවිතය මහවැලිය සේ ගලයි
“කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක් [5]?”

“සුරූපී ගැහැනියක ලැබීම
රාජ කිරුළ අතපත් වීම හා සමාන ය”
-ප්‍රංශ පිරුළක්

උතුරු සුළඟ
තිගෙ ඇඳිවත උණා ලී ය
දිවා ඉරෙන් උණු නූස් ගඟ දිය
තිගෙ ගත දොවා ගැලුවා ය‍
වන මල් අතුරා
මම යහන සුවඳ කර ඇත්තෙමි
නව යොවුන් එළු දෙනක සේ
තිගෙ කෙණ්ඩා ගොප්ගන්වා
ඉතින් එමත පිවිසෙව!

“මැහැලිය කියා අමුතු ලියක් සිටී ද?
ප්‍රේමාන්විත නම් කෘතහස්ත නම්
ඇගෙ කල වයස කුමක් හෝ වේවා
පරමෝත්කෘෂ්ට මොහොතක් පිදීමට
ගැහැනිය සමත් වෙයි මිනිහාට”
– මහා ප්‍රංශ ඉතිහාසඥ
ජුල් මිෂලෙ (Jules Michelet)

සිකුරාදා :

ගෑනියෙ තිගෙ කෝප හරුප
මගෙ කන කහඹිලියා හෙන්නා සේ යැ!
ඒ වුණාට තිගෙ නාඹර වෙළඹ නිතඹ
තව්තිසාවේ දොරටුවයි!
“ඒලය්යා එලාඩෝ ඒලවයා එලාඩෝ
අඩි- ඒලවලෙයි ඒවාලෙයි ඒලවලෙයි ඒලෝ [6]!”

“ගැහැනිය යනු සිපිරිගෙයකි
පිරිමියා එහි ඒකායන සිරකරුවා ය”
-ප්‍රංශ පිරුලක්

අස්රියක නැඟ ඉඳහිට
දෙව්ලොව ගොස් ආපසු එන මට
එහි යන කෙටි මඟ වැටී ඇත්තේ
තිගෙ දඟ යුග මතින් බව වැටහිණ

“මිනිහෙකු නම් ඔහු හොයමින් යයි
දැරියක නම් ඇය පෙරමඟ බලයි
ගැහැනියක නම් ඒකි මායම් පා
ඇද බැඳගෙන දැපනෙ ලා ගනියි”
-මහා ප්‍රංශ සාහිත්‍යයධර
වික්තෝර් හියුගෝ (Victor Hugo)

ගෑනියෙ උඹෙ ඔය හොර උපාසිකාකම
අර දූරියන් ලෙලි සෑය මත අතුට
ඉඟ මඳක් නටවාපියකො ඇන්නෑවේ
මගෙ හැරමිටිය තුළ නරි හූ කියත්!

“ගැහැනිය යනු
රෝස කුසුමෙන් පිසි
උකු ජෑම් තරලෙන් වටකළ රිටකි
ඇයව ඩැහැගත යුත්තේ
කවර අග්ගිස්සෙන් දැයි
දත්තෙක් නැත්”
– පසිඳු ප්‍රංශ ලේඛක
අල්පොන්ස් අල්ලේ
(Alponse Allais)

සෙනසුරාදා :

“ගැහැනු සහ දෙවියෝ
එක ම දේ ඉල්ලත්”
-ප්‍රංශ පිරුළක්

ගෑනියෙ, මගෙ මේ කවි රොත්ත
ගල ගා අඹරා උරච්චි කර ගනින්න
ඉන් තිට ඉතිරි කරගත හැකිවේවි
සියවසක ලවනාලේප වියදම !
“පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැඟිටින්නේ [7]”

“ආදරය ලොතරැයියකි.
ඉන් ජයගත් වාසනාවන්තයාට
මරණය තිලිණය වසයෙන් ලැබේ”
-මහා ප්‍රංශ සාහිත්‍යධර
ඇලෙක්සෝන්ද්‍ර ද්යුමා (Alexandre Dumas)

ඉරිදා :

ඌරාගේ මස
ඌ මත ම තබා කපන්නා සේ
ඉබ්බාගේ මස
ඉබිකට්ට තුළ ම බහා පිසින්නා සේ
මගේ ලේ ගලන ආදරය
මගෙ ම හදවත මත තබා කපා පිස
ඉරට්ටෙන් සුඟ සුඟ ගෙන
කෙළ හළමින් තලුමරමින් වළඳව!
“වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ [8]”

“දුක සාගරය සේ යැ
ගැහැනුන් නිසා උපන් දුක
සාගර පවා පරයයි”
-ප්‍රංශ පිරුළක්

අනිච්චේ දුක්කේ සංසාරේ
පෙමතො ජායති සොකො අයියෝ
බඩ්ඩ මල්ලිට පොල්ල තියලා
අන්න මචං ඌ අම්බානකට ප්‍රස ගහලා!
කන්නෙත් නෑ බොන්නෙත් නෑ
බයිබලේ ඉහට තියන් බුදි!

ගෑනියෙ, ඉතින් තිගෙ නික්මයාම
මට කොහෙත් ම දුකක් නොවේ
මම හෙට යහනට ගනිම්
හඳපළුව !
“උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ [9]”

“ගැහැනුන් මහණුන් සහ පරෙවියන්
යන එන තැන් දෙවියෝ පවා නොදනිත්!”
– ප්‍රංශ පිරුළක්

පාදක සටහන්:

[1] ශුද්ධ බයිබලය, ලංකා බයිබල් සමාගම, කොළඹ, 1986, පි. 908. වැඩිදුරටත් කියවන්න: සුනිල් ආරියරත්න, කැරොල් පසම් කන්තාරු, සුපසන්, කොළඹ, 1987, පි. 72.

[2] සුනිල් ආරියරත්න , නවාතැන්පොළ, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 34. ගායනය : නන්දා මාලිනී. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[3] සුනිල් ආරියරත්න, තනි යහනේදී, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 23. ගායනය : සනත් නන්දසිරි. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[4] සුනිල් ආරියරත්න , නවාතැන්පොළ, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 36. ගායනය : නන්දා මාලිනී. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[5] සුනිල් ආරියරත්න, ලා හිරු දහසක්; දෙවැනි ගීත එකතුව, 61 වැනි ගීතය. වැඩිදුරටත් බලන්න : මඩොල්දූව, අධ්‍යක්ෂණය : ලෙස්ටර් ජේම්ස් පීරිස්, නිෂ්පාදනය : උපසේන මාරසිංහ, 1976. ගායනය : වික්ටර් රත්නායක. සංගීතය : ඩබ්. ඩී. අමරදේව.

[6] ධීවර ගීතයක්. වැඩිදුරටත් කියවන්න; සුනිල් ආරියරත්න, තුටු පඬුරු, ගොඩගේ, කොළඹ, 1994, පි. 52. ගායනය : නන්දා මාලිනී. සංගීතය : ඔස්ටින් මුණසිංහ.

[7] සුනිල් ආරියරත්න , නවාතැන්පොළ, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 21. ගායනය : නන්දා මාලිනී. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[8] සුනිල් ආරියරත්න, තනි යහනේදී, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 25. ගායනය : නීලා වික්‍රමසිංහ. සංගීතය : ප්‍රේම්ලාල් දන්වත්ත.

[9] එම, පි. 21. ගායනය : ගුණදාස කපුගේ. සංගීතය : සරත් දසනායක.