ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගණිත ගැටළුවක්මය ජීවිතේ

ගණිත ගැටළුවක්මය ජීවිතේ

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය
2024-February

ඉලක්කම් ගොඩක් මැද

අඩුවෙතැයි නොබෙදාම

එකතුකර වැඩිකරන

ගණිත අභ්‍යාසයක් ජීවිතේ

y දෙද්දි x නොදැන, X ඉද්දි y හොයන

සමීකරණත් එක්ක ගෙවා දවසින් දවස

නොදත් අගයන් හොයමු ජීවිතේ

අනුන් පරයා යන්න ප්‍රවේගය වැඩි කරන්

හැමදාම ඔට්ටුවෙන

නියතයන් තියෙද්දී ස්කන්ධ වැඩිකරන්

ගැටුම් ජය ගන්න යන ජීවිතේ

කේන්ද්‍රය උඩ ඉඳන් ෆයි නියත බව දැනන්

අනන්තය තෙක් අරය දිගු කරන්නට තනන

අනුන්ගෙත් ඉඩ අරන් පරිධියම ලොකු කරන්

වෘත ඇඳ වටකරමු ජීවිතේ

දී ඇතත් විසඳන්න මදි වුණත් ඇති දත්ත

යොදාගෙන ප්‍රමේයන් සහ සයින් කොස් ටෑන්

අවකලන අනුකලන අතට අහුවෙන එකක්

ඇති එකා පහසුවෙන් නැති එකා ඔට්ටුවෙන

අමාරුම ගැටළුවක් ජීවිතේ

අවසානෙ කොයි එකත්

දැඟලූවත් විසඳන්න

T ඇවිත් බිංදුවට

අතරමග හැරදමා උත්තරය නැතිව යන

අමාරුම කෙහෙල්මල් ගණිත ගැටළුව තමයි

ජීවිතේ