ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දින 50 පසුකරන ආදරයේ අරගලය

දින 50 පසුකරන ආදරයේ අරගලය

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2022-June

 

පුරා දශක ගණනාවක් පාලකයන් හොරා කාපු
දෙපිල බෙදී මාරු වෙවී දුෂිතයන් රජ කරාපු
ඒ හොරුන්ට රැවටී රැවටී හැමදාමත් චන්දෙ දීපු
පරම්පරාගත ගොන්කම එපා කියලා නැගී සිටපු
මිනිසුන්ගේ අරගලයය් සිරි ලක්බිම අවදිකරපු

මහා කන්නෙත් වගාව නෑ, යල කන්නෙත් වගාව නෑ
පොහොර ගන්න ඩොලර් නැතිලු
රෝගියෝ ටික වැලපෙනවා
බේත් ගන්න ඩොලර් නැතිලු
වාහන මග නවතිනවා, මිනිසුන් පෝලිමේ ඉඳගෙන
ඉන්ධන ගැන වැළපෙනවා
පොඩි එවුන්ට කන්න දෙන්න
උයාගන්න ගෑසුත් නෑ
කිසිම වැඩක් කරන්න බෑ, විදුලිය නෑ මහජනයට
ඒ උනාට රජමැදුරේ
ගෑස්, ලයිට්, ඉන්ධන ඇත
පැය විසිහතරෙම AC
දාගෙන උන් රට හදනවා

ගෑස් ගන්න, බේත් ගන්න
තිබුන ඩොලර් වියදම් කර
කඳුළු ගෑස් ගෙනාපු ඒ
හිත්පිත් නැති පාදඩ රැල
අරගලයේ දරුවන් හට
කඳුළු ගෑස් ගහන ගමන්
වතුර බව්සරේ ගෙනවිත්
ජල පහරින් නාවනවා…
ඒ උනාට අපෙ දරුවන්
නවත්තන්න උන් හට බෑ
අසාධාරණේ අභියස
නිවටයෝ ලෙස වැටී ඉන්න
තරුණ ජවය ලෑස්ති නෑ.. ..
සූදානම් මහතුනි උන්
මේ හොරු රැල එලව දමල
අළුත් රටක් ගොඩ නගන්න

ගෝඨාගෝගම කියලා
අරගලයේ ගම හැදුනා
රටට ආදරේ මිනිසුන්
එක රොත්තට එකතු උනා
ජාති – පක්ෂ – ආගම් කුල
පන්ති – වයස් පරතර නැති
ආදරයේ අරගළයට
ජවය දෙන්න තරුණයො කැල
මිමස්සන් සේ රෝද බැඳ
ආදරයෙන් එකතු උනා
මේ සටනට සහය දෙන්න
ලංකාවේ හතර වටේ
ගෝඨාගෝගම් හැදුනා
ලංකාවේ පමණක් නොව
ලෝකේ වටේ විදි පුරා
ලාංකිකයෝ හඬ නගනවා
ආදරයේ අරගලයට
ගඟක් වගේ එකතු වෙලා
හොරු එළවන්නට එනවා…
මේ ජනගඟ නවතන්නට
ජගතෙක් මේ මිහිපිට නෑ…

දින 50ක් ගියත් අනේ
අරගලයට මහන්සි නෑ…
දුෂිතයන් පලවා හැර
අළුත් රටක් හදන තුරා
අරගලයට නින්දක් නෑ….
පාලකයිනි මේ අහන්න
හොරා කාපු සල්ලි දීලා
කරුණාකර ඉවත් වෙන්න
වෙන විකල්ප විසඳුම් නෑ…

නීතිය , සාමය රජයන
දූෂණ වංචා නැති උන
රටට ආදරේ මිනිසුන්
අලුත් රටක් හදන තුරා
අරගලයත් පවතිනවා….