ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොළඹ යුගයේ සිත්ගත් කවි

කොළඹ යුගයේ සිත්ගත් කවි

ඉතාලි රණ බිමෙන් - ඉඹුලෙගොඩ ඇම් .ඇස් . ද සිල්වා
2021-October

වසර තිස් පහක් අගනුවර තරුණ කවි සමාජයේ (අතකස)
ගරු භාණ්ඩාගාරික නිලය දැරූ ඇම් .ඇස් .ද සිල්වා ශුරීන්
වසට අසුවක් ආයු වළඳා 2000.09.14 දින අප අතරින් වෙන් වී ගියේය.

ගම්මානයක් ගිනිගත් වන තවම දැවේ
දෙසවන් බිහිරි කොට ෂෙල් වෙඩි පහර දිවේ
මොකවත් නුදුටු ජීවිතයක තුරුණු සුවේ
මේ යුද පිටිය මට මට එතරම් කටුක නොවේ

හිම කැට ඇසුරු කොට උස් කඳුවල ඈත
වනපෙත් මැදින් එයි තද සුළඟක් සීත
වැඩ පළවලට හිර වුණු හොඳටම දෑත
කෝකිලයෝ ගයත් මට කන්කළු ගීත

නිර්දය පහර දුන්නෙමු සතියක් තිස්සේ
සතුරා බොලොඤ්ඤා වෙන් නැත පසු බැස්සේ
පාලම් දමාගෙන සිහිසන් ගඟ ඔස්සේ
කූඩාරම් ගැසිමු එතෙරව මහ වැස්සේ

පය තැබූ ගම් නියම් ගම් සතුරනට නොදී
හැම මරු සටනක්ම ජයගෙන නැතිව නිදී
බිහිසුණු ගොතික් බලකොටු පෙළ දිගට ඇදී
අපි අද ඉඳිමු ලොකු රණ පිටියකට වැදී

කවි කිය කියා ඉස්සර මා ඔරු පැද්ද
කොහොමද අනේ අද රත්ගම් ඔය ඇද්ද
ලක් මව මගේ ලක් මව ගැන පරසිද්ද
මා බිව් කඳුළු මුහුදක් තරමට නැද්ද

1942 – දෙවන ලෝක සංග්‍රාමයේ ඉතාලියේ යුද පිටියේ සිට