ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නමමි මම මගේ හිස

නමමි මම මගේ හිස

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2023-July

තවත් උදෑසනක්
එක් මැදිරියක ගුවන් විදුලියෙ
මුහුණ ලා සිටියෙමු
පිළිමලුන් ලෙස
තරඟයට
අඩ සිය වසට වැඩි
පෙර දිනයක

සිහින් කලු කොලු
පිළිමලුන් අතරේ
හැඳින්නෙමුු අපි
කියැවුණ නිසා ඔහු නම
එකල පාසල් අතර

ජය ගතිමු අපි
එදා තරඟය
ජය කෙහෙලි නැඟුවේ ඔහු ය
පසු කල
සරසවි කෙත
මහ ඇදුරු වී හෙල බසට

නෙක කව් ද ගී බැඳ
පොබ කර රසික සිත් මල්
රූප පෙලහර පාමින
රස සයුර නිති කලඹා
නඳන කර බෝ දන මන
නිම් වලලු කර පුළුල් ප්‍රඥා
ජය ගෙන කලා කෙත සටන
වෙහෙසකර
දිණුම පැරදුම එකට කැලතුණ
කුරු කෙත සටන සරි වුණ
හිඳී කිසිවක් නොවුණ ගානට
මහ පොලොව පය ගසා ගෙන

සුනිල් අහසයි හිසට
සුනිල් සමුදුර රට වට
සුනිල් සළු ගිරි හිසට
සුනිල් විණ අග
කලාවට බසට

ණය නැති පුතෙකි ඔහු
මව් බිමට මව් බසට
සම්මානිතයි
නමමි මම මගේ හිස ඔහුට

23-05-23