ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අසම්මත ආදරය

අසම්මත ආදරය

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2023-August

අතු රිකිලි දර වෙමින්
දැවෙන ගිම්හානයේ
පවනක්‌ව ගත වෙලුනු
සොදුරු දඟකාරියේ
වසන්තයෙ ඉගිලිලා
නොඑන ලෙස දිව ගියේ
තුරු මුදුනේ පිපී මලයි
අකාලයේ මිය ගියේ

දිය කඩිති ලෙසින්
ඒ මිරිඟුව ද දිලිසුනේ
පිපාසෙට දිය සොයා
හති වැටී රැවටුනේ
අවාරෙට පිපුණු
මල්පර වෙලා පුදසුනේ
නුඹ සමග නොවේ
ලොව නුඹටමය හිනැහුණේ

ගෙවුණු මුත් වසන්තය
මල් නොමැති අතු කොනේ
කොළ පාට ළදල්ලක්
පවන් වැද සෙලවුනේ
පිපෙන්නට පෙති නොමැති
මල් කෙමිය තුල අනේ
දුක් කදුළු ගල් වෙලා
පල ලෙසින් දිස් වුනේ