ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවුරුදු විරිදු

අවුරුදු විරිදු

වෛද්‍ය රසිකා  ජයතුංග  - ලන්ඩනය
2021-May

කොහා ගයයි බක්මස, අවුරුදු ආසිරිය
ගේ දොර හුණු ගා, පිළිගමු අවුරුදු  එලිය
සුභ නැකතින් ලක්මව නව වසරක් අරබයි
ලක් දරුවන් ලෝ අවටත් ඒ බව අගයයි
අවුරුදු උදා වුන  දින, එක්වෙමු සොයුරු සැමදෙන //

කෝවිල් සහ පන්සල් වෙත යමු නමදින්න
ගෞරවයෙන් බුලත් දෙමින් වැඩිහිටියන්ට
තෑගි බෝග ගණුදෙනු හොද හුවමාරුවට
අළුත් අළුත් වත් පලදා සැරසී ජයට
අවුරුදු උදා වුන දින, සතුටින් ගයමු අපි සැම //

කඹ ඇදිල්ල, ගුඩු, එල්ලේ තරග කරන්න
රබන් නාදෙ දෝංකාරේ ඇසෙයි සවනට
වෙඩි පුපුරයි සැන කෙලියකි  ලක් බිම අද
අවුරුදු කුමරිය පලදියි රුවන් ඔටුන්න
අවුරුදු උදා වුන දින, කෙලියෙන් පිනවෙමු අද දින //

කැවුන්, කොකිස්, මුන් අතිරස, කිරිබත්, අලුවා
නෑදෑයින්, අසල්වැසියෝ බෙදමු හමු වෙලා
සිහල , දෙමළ අපි සැමෝම   එක ලක් මවගේ
සාමෙ නමින් කිරි උතුරමු අපෙ ලංකාවේ
අවුරුදු උදා වුන දින, බැබලෙයි අපේ ලක් බිම //

උතුර, දකුණ ලෙස නොබෙදා මුළු රට තකලා
ජයහඩ නංවමු දිවයින එක්සත් කරලා
මගේ දැයයි, ඔබේ දැයයි ලෙස නොසිතන්න
අපේ දැයට නවෝදයක් උදා කරන්න
අවුරුදු උදා වුන දින , සාමය පතමු ඔබ හට//

13 අප්‍රේල් 2021