හෙමින් සැරේ පියාසලා……

දීපා ද සිල්වා - ලන්ඩනය
දීපා ද සිල්වා - ලන්ඩනය
2021-September

අදුරු වලාකුළු අස්සෙන් හෙමිහිට රිංගාන
නොපෙනෙන මං පසුකරමින් නොදැනිම බඩගාන
සීතල පිනි මුතු වැස්සට හොරෙන්ම හිස පාන
අරුණ එක්ක ඉගි කරමින් මවන සොදුරු හීන

එහේ මෙහේ ගතු කියමින් හුරතල්කම් පෙන්නා
දා බිඳු සිසිලස් පහසින් පිරිමැද සෝ නිවනා
කිහිඹුලතා දඟ කරලා අඩ සඳ පිරිමදිනා
හිත පතුලේ පෙම් හැඟුමක් මෝදු කරන් යන්නා

ගුවන් ගැබේ වලා කැරලි වටේට කරකවන
ගම් බිම් කෙත්වතු පූදින මල් වැස්සක් මවන
කොපුල් තලා ගලන කදුළු එක පාරම සිදින
සොදුර නුඹ තමයි සැමදා දුක් සංකා අහන

සී පද රාවයට තාල අල්ලන වී පදුරේ
නව මං පෙත් යා කරන්න සිතනා මල් පොකුරේ
ගලාන යන ගං දිය රැලි පෙන නංවන වතුරේ
සවන් පිනන ගීත නාද ඇසෙනවාද මිතුරේ

නෙක පාටින් බබලන මුදු කඩදහි උඩ අරින
සිනා කිකිණි පුංචි මුවේ මුදු හසරැලි මවන
අලස කමට තුරු හිස් ලඟ එහෙට මෙහෙට වැනෙන
රුදුරු වෙසක් මවා සැවොම බිය වද්දා දුවන

බෝ පත් බන පද කියමින් හෙමිහිට සෙලවෙන්නේ
බැඳි දද පෙළ ඒ තාලෙට බවුන් වඩන් ඉන්නේ
වැලි මළුවේ පින්පාටට පුන් සද හිනැහෙන්නේ
හද නිවනා ඔසුවයි මේ නොදැනිම දැවටෙන්නේ