ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

උපාසකත් අපායේ!

උපාසකත් අපායේ!

වෛද්‍ය කමල් විතාරණ - කොල්චේස්ට - එංගලන්තය
2023-February

කයයි හිතයි වචනයි තුන එකතුවෙලා
පින් පව් දෙක ගොඩ ගොඩවල් එකතුකලා
යන කොට ගෙනියන්න ඉතින් ඕන නිසා
සිත පතුලේ පින් පව් ගොඩ නිදන් කලා

ඔන්න ඉතින් මාරදෙවිඳු සැපත්වෙලා
උපාසකට එන්න කියා කතාකලා
බෑ කිව්වත් බලෙන් ඇදන් අරන් ගියා
නිදානෙ තැන්පත් පව් පින් මතක් උනා

හිතුවත් කල පින් මතකෙට ගන්න කියා
පව් ගොඩකින් පොඩි පින් ටික වහන් වෙලා
සංසාරෙම කල පවු ටික හරස්වෙලා
යම රජු වෙත උපාසකව අරන්ගියා

යමරජු ඔරවා බලලා ඔහුගෙ දිහා
ගොරවා ඇහුවා නම ගම කුමක් කියා
නම ගම කිවුවම රජුහට හිසත් නමා
කල කී පව් රොත්ත ඔහුට මතක් කලා

යම පල්ලන් හත් අටකට කතාකලා
දෙන්නට ඕනෑ වද පෙල නියම කලා
පව් නෙවි මම පිනුත් කලැයි මතක් කලා
චේතනාව පිරිසිදු දැයි ප්‍රශ්න කලා

සතර පෝය සිල් ගත් හැටි මතක් කලා
සාංගීක දන් දුන් හැටි මතක් කලා
බණ ධර්මය ඇසු බවත් මතක් කලා
ඔහු කල පින් ගැන හඩ හඩ මතක් කලා

ලෝකෙට පෙන්නන්නට කල පිනක් විනා
පිරිසිදු සිතකින් කල පින් නැතැයි කියා
යම පල්ලන් කොන් හතරෙන් ඇදන් ගියා
රත්වෙන ලෝදිය හැලියට සැපත් කලා