
සුභාෂිතයේ සිත් ගත් කවි – පෙබරවාරි
අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද
දිගත පතල සුවඳති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
අප්රමාණ ගුණයෙන් හා නුවණින් යුතු උත්තමයෝ කෙළවරක් නැති ගැහැට ලැබූවත් දුෂ්ට සිතක් ඇති කර නොගනිති.
එය කෙසේද යත් සෑම දිසාවෙහිම පැතිරුණු සුවඳින් යුත් සඳුන් කඳ කපන කළත් තලන කළත් එකම ලෙස සුවඳ විහිදී යන්න සේය.