රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2024 පෙබරවාරි කලාපය

වියෝගය.

මෙතුවක්....
නුඹේ පියාපතට ඇලී සිටි
මමයි පිහාටුව.
එදා....
බොහෝ දුර එක්ව එකටම
පියාඹන්නට හීන දුටුව.
අහා...අපි දුටු ඒ සුන්දරත්වය!
හිස් අවකාශයේ ඉම තෙක්
සැරි සැරූ ඒ අතීතය
නිමා වෙන්නට ඔන්න මෙන්න ය.

ඉතින්...තව මොහොතකින්
බිම වැටී අසරණ වන්නට නියමිතය.
නොපැතූ නිමේශයක
ඒ මොහොත පැමිණියෙන්
ඔබෙන් ගිලිහුණු වහා
සැඩ සුළං යන අත
යන ඉමක් ගැන වගක්වත් නොදැන
ඔහේ පාවී ගොස්
නන්නත්තාර ව..... අවසන
මහ පොළොව සිප ගනු ඇත.

සීරී තැලී අවසඟව ගිය අත පය
රිදුනාට කම් නැති.
ගත තැලුම් වුව ද
තව වුවත් ඉවසන්න හැකි.

දරාගන්නට බැරි
මහමෙරක් තරම් බර
වියෝ දුක ම ය.
ඔබ නොමැති කල මා
ගිලිහුණු පිහාටුවක් පමණ ම ය!!
View Poem