ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා

මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා

අශෝක හඳගම
2022-February

මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා
ඒ වසන්තයේ.
මීට වඩා කුරුළු ගී ඇසෙන්න ට තිබුණා
ඒ වසන්තයේ
අප මුලින් මුණ ගැහුණු ඒ මධුර වසන්තයේ…

මීට වඩා මඳ සුළං හමන්නට තිබුණා
ඒ ගිම්හානයේ
මීට වඩා උණුහුමින් වෙලෙන්නට තිබුනා
ඒ ගිම්හාන යේ
අප හෙමින් ඇවිද ගිය ඒ සොඳුරු ගිම්හානයේ

මීට වඩා බොහෝ වැසි වහින්නට තිබුණා
ඒ වස්සානයේ
මීට වඩා ඉකි බිඳුම් ඇසෙන්නට තිබුනා
ඒ වස්සානයේ..
අප අපෙන් වෙන්කෙරුනු ඒ අඳුරු වස්සානයේ

මීට වඩා ගැඹුරු විල් මිදෙන්නට තිබුණා
ඒ ශීත සිසිරයේ
මීට වඩා බිඳුණු සිත් රිදෙන්න ට තිබුණා
ඒ ශීත සිසිරයේ
අපේ හිත් ගල් ගැහුණු ඒ අඳුරු සිසිරයේ