වැළපෙනා ගුරු ගීය……

මධුවන්ති කුලසේකර
මධුවන්ති කුලසේකර
2021-October

පිනි වැටෙන හිමිදිරියෙ…කුකුළා දෝතින් රැගෙන
වෙනදා මෙන් බස් රියේ…ඉස්කෝලෙ යනවා මම
රතු ඉරිද නම් පොත් ද…පෙලපොත්ද සටහන්ද
කලු ලෑලි හුණු කූරු ..තවම මගෙ ලගම ඇත
නුඹ පමණි දරුවනේ..ලග නොමැති එකම දේ
තනු රහිත බව දැනේ..ගුරුගීය හදවතේ……..

රෝහලේ පිං බේත්..බෙදන දිග පෝලිමේ …
හිටන් ඉන්නා දිනක දැක්කා මම නුඹ පුතේ ..
ටයි පටිය ගෙල වටේ..වෙද නලාවද කරේ..
හොවාගෙන ඇවිද යයි ..ගාම්භීරෙන් වගේ …
පසුපසින් ඇවිද ගොස්..නුඹව නවතා බිදක්..
ඇසුව මම මතකයි ද නුඹේ එක වසරෙ මිස් …
ඉන්න බෑ පංතියේ..යන්න ඕනා ගෙදර ..
හඩතලා පෙරලෙමින්..ඇඩුව නුඹ මහ හඩින් …
හඩන නුඹ වඩාගෙන ..කොරිඩෝවෙ තියාගෙන
නලවගත් ටීච මම …මතකෙ නැතුවට නුබට
කට කොනින් මද සිනා ..පා හැරී යන ගමන් ..
ටිකක් මතකයි වගේ.. කීව නුඹ මහකමින්..
දන්නෙ නැහැ පුතේ නුඹ..සතුටු වෙන තරම මම..
මූසිලට මෙත් වඩන..ඇදුරු ගුත්තිලයි මම ..

මහ චන්දෙ ළග එද්දි ..හතර අතටම වදින ..
නුඹට අමතකයි අද ..නැමදුමට ගුරු දෙපය.
පාට කොඩි වැල් මැදින්..මල් මාල ගොමු මැදින්..
වේදිකාවට ගොහින්..ගිරිය පුප්පා වැරෙන් ….
කෑ ගසා.. හුදී ජන ප්‍රසාදය යදිනු දැක..
සෙනග පීරා ගොසින් …නුඹට ලං වී මදක් ..
ඇසුව මම මතකයි ද ..නුඹේ දෙක වසරෙ මිස්..
එහා වත්තේ තිබුන…ගෙඩි පිරුණු අඹ ගහට…
ගහපු පොලු පාරකින් ..පිපිරුණා නුඹෙ නළල…
අම්මා එනකල් නොබල…මම ගියේ රෝහලට ..
මතක නෑ නෙවද පුත…දෙකේ ටීචර් නෙ මම ..
ලොකු මතකයක් හිතේ…තාම නම් නෑ මගේ…
කතිරයක් දෙන්න මිස්..ඉදිරියෙන් නම මගේ..
දිනා මහමහජන වරම ..ප්‍රීති ඝෝෂා ගොඩේ.
නුඹව දැක තුටු උනා …ගෝලයෙකි ඒ මගේ …
දන්නෙ නෑ පුතේ නුඹ ..සතුටු වෙන තරම් මම ..
මූසිලට මෙත් වඩන ඇදුරු ගුත්තිලයි මම …
එකයි තිහ කණිසමෙන්… ඉවර නෑ ජරමරේ
හවස හිටියා අදත්..කොට්ටාශ තරගනේ..
සෙනග පිරි බස් රියේ…යමි ගෙදර හාමතේ …
පුතේ නුඹලා නිසා…මම තවම මාවතේ..

මහ ඉඩමෙ පත් ඉරුව ..අරගන්න ගිය දිනක..
දුටිමි මම නුඹ දුරක…කලු ලෝගු පැලද ගෙන ….
වැරදි වැරදී දුවන මිනිස් ජීවිත වලට ..නීතියේ පිලිසරණ සොයා දෙනවා නේද …
නීති අවනීති වල.. වෙනස දැන දැනම නුඹ …
පැමිණිල්ල විත්තියේ වෙනස නොදකින විලස…
කාසි බර වැඩි පසට…සොයා දෙයි පිලිසරණ ….
දුර තියා දුටු නමුත්…අදුරගෙන නෑ නේද ..
මතක නැතුවැති පුතේ …තුන වසරෙ ටීච මම …
පාසලෙන් චාරිකා ..ගිය දිනක පොඩි කාලෙ..
ආවෙ නෑ කවුරුත් ම ..ගෙනියන්න නුඹ ගෙදර ..
බලා ඉදලා පුතේ ..බැරි තැන රෑ අටට..
ගෙදරට ම ඇරලුවා…මතක නැතුවැති නුඹට …
සුපිරි රථයක නැගී..පාවෙලා යන අරුම ..
බලා සිටියා පුතේ..හරිම සතුටුයි හදට…
දන්නෙ නෑ නුඹ පුතේ සතුටු වෙන තරම් මම
මූසිලට මෙත් වඩන..ඇදුරු ගුත්තිලයි මම …

ශිෂ්‍ය භට කදවුරේ ….රිදී ජම්බෝරියේ..
මා කෙලින් කල කොන්ද..කඩාගෙන නැමි නැමී…
කාකි ඇදුමක් ඇදන්… තරු සහිත උරහිසේ..
පුතේ ඇයි නුඹ උනේ…අතකොලුව පාලනේ…
නුඹට මාවත පෙන්නු..ගුරුන් යන මාවතේ …
කාකි බාධක දමා ..පෙන්නුවා නුඹ බලේ…
නුඹට පිටුපා යන්න ..බැහැ ඉහළ ඕඩරේ…
වැල යන්නෙ කොහාටද…මැස්ස ගහපන් පුතේ ….

අගේ නැති මැටිපිඩැලි..අතට ගෙන වැඩ දමා….
අමිල නිමවුම් රැසක්..ලොවට අප හෙලිකලා…..
මොනව කීවත් කලත්..අපි ගියේ නෑ පලා ….
අපෙන් හොරකම් කරල…අපිට හොරු යැයි කියන…
කෙලෙහි ගුණ නැති රටක…උපදින්න පව් කලා….

දිවියේ සාරයත් යයි..දිනෙන් දින සිදි සිදී…
කමක් නෑ පුතේ තව ..බිදක් ඉතිරියි සවි
පරපුරෙන් පරපුරට ..නුඹේ දරු දැරියන්ද..
එවාපන් අපි ලගට…හදන්නම් උන්ගෙ හෙට …..