
‘ඇය’ ගේ මරණ පරීක්ෂණය
රැළි ගැහුණු සමින් වැසි – කිරි එරී ගිය ළමැදය,
එල්ලා වැටුණ කුසයේ- පරණ සීසර් එකක ලකුණුය,
පපුවට උඩින් හරියටම – ගැඹුරු නොගැඹුරු කැළලිය,
ගිලුණු ඇස්වල තවමත් – එළියට නො ආ කඳුළුය..
උදරය පලා බැලු සඳ – එක පමණටම මිශ්රව,
දංකුඩ බත් ය කඳුළුය – ළසෝ ගින්නෙන් රත් කළ,
වකුගඩු පිරී ඇත්තෙම – නොපෙරී ඉතිරි පිරිපත,
දොස් පරොස් පිරිපහදු කළ – අක්මාව ඉදිමී ඇත..
ඇට කැබලි මටසිළුටු මුත් – ඇට මිදුළු හරි ඝනකම,
තදින් අල්ලා බැලු විට – බරය එහි දරු ස්නේහය,
පෙනහලු පිරී සුසුමන් – පිටව යන්නට බැරිව සිර වුණ,
තව එක් වරක් පැටවුන් – සිඹිනට නොලද හින්දම..
අවසනට හදවත – ගෙන බලමි එය බොහො බර,
ගලක් මෙන් දැඩි මුත් පිට – හරිම මෙළෙකයි ඇතුළත,
වැඩිය නොපෙනෙන කෙළවරක – පැල්මක් ය සවිවර,
අහෝ මරණයට හේතුව – නිසැකවම ළය පැලීමය…!!!