ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

(නො) පෙනෙන දෙනෙත්

(නො) පෙනෙන දෙනෙත්

සන්ධ්‍යා ද සිල්වා
2022-January

(නො) පෙනෙන දෙනෙත් – සන්ධ්‍යා ද සිල්වා

මහ මග මැද දැල්වෙන මහ ගිනි මැළයක්
වටා රොක් වුනු නිරි-සතුන් පිරිසක්
නරඹති එය- ඔවුනට අසිරිමත් දසුනක්
වීඩියෝ කරති රසවිඳින්නට-එය මට අපුලක්

මුහුණු වැස්මට ඉහළින් පෙනෙන-සොයුරකුගේ දුක්බර දෑසක්
ආදරණීය බිරිඳකගේ සන්සුන්, විඩාබර, අසරණ දෙනෙතක්
අතර දිවගිය මා නෙත් නැවතුනා අබියස -වික්ෂිප්ත බැල්මක්
පසක් කරමින් එය-ඔවුනට කුරිරු දසුනක්

ළමාවිය පියමන් කරමින්-ලොවට එබිකම් කරන
පුතුගේ දෑසින් නුදුටිමි කෝපයක් හෝ ශෝකයක්
දැනුනේද ඒ මනසට හද සසළ කළ අවනඩුවක්
කෙසේ පුරවාවිද ඒ හිස් බව වැඩුණු පසු ඔහු – එය ගැටලුවක්

දයාබර මව්තුමිය රකීවි ඒ තැලුණු සිත- ඉඩ නොදේවි
පුරවන්නට හිස්බව වෛරයෙන් හා හීනමානයෙන්
හාමුදුරුවන් පහදාවි කේ්රාධයේ ආදීනව-නෑසියන් උගන්වාවි
ආදරය විශ්වාසය-ඔහු වැඩේවි සමබර මිනිසෙකු ලෙසින්

යකඩ කූරු අතරින් ආඩම්බරයෙන් හිස ඔසවා
හෙළන හිස් බැල්ම – සසළ කළා මා සිත මොහොතක්
එහි නෑ පසුතැවීමක්, ශෝකයක්,වෛරයක් හෝ බියක්
මානව දයාව නොභඳුනන – ඔවුනට එය සාමාන්‍ය දෙයක්

මළ පොත අකුර නුගත්-කඩතුරාව තුළින් අඳුරු ලොව දකින
මෑණිවරුනට හැකිවේද පහදන්න මිනිස් ජීවිතයක අරුමය
එකම පොතකට යොමුවු බොර පැහැ දෑස්- කිසිදා දකීවිද
එකම දෙවියන් මැවු ලොව තුළ-අනුන්ගේ දරුවන් නැති බව

ඉම්රාන් ඛාන් මැතිඳුනි, ඔබටයි මේ අභියෝගය
අවදි කරන්න ඒ දෑස්- දකින්නට ලෝකයේ සුන්දරත්වය